Home » බිඳවැටුණු ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කිරීම වැදගත්ම ලක්ෂණයක්

බිඳවැටුණු ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කිරීම වැදගත්ම ලක්ෂණයක්

by yasara
December 11, 2024 12:47 pm 0 comment

සෞඛ්‍ය සේවාවේ හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම ලක්ෂණය ජනතාව තුල බිදවැටුණු විශ්වාසය නැවත දිනා ගැනිමට කටයුතු කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  අවධාරණය කළේය .

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගීත්වය ඇතිව අද   (11)  පෙරවරුවේ සෞඛ්‍ය  අමාත්‍යාංශයේ දී  සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු පැමිණ සිටි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අමතමින් නව ලේකම්වරයා මේ බව පැවසීය.

වසර 05 කට පමණ පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට නැවත පැමිණීමට ලැබීම පිළිබදව තමන් සතුටට පත්වන බවත්, විශ්වාසය යනු සමහර පුද්ගලයින් ලග ඇති, සමහරුන් ලග නොමැති ඉතා දුර්ලභ මැණිකක් මෙන් බව ද කීවේය.

එම විශ්වාසය දිනා ගනිමින් ආර්ථික ගැටළුවට මුහුණ දී සිටින ජනතාවට සාධාරණ මනුෂ්‍යත්වයෙන් හෙඹි සේවාවක් රට තුල ස්ථාපිත කිරීමට වත්මන් සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම, උනන්දුව සහ දැක්ම අනුව කටයුතු සිදු කරන බව ද ඒ මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ, පළපුරුදු නිලධාරීන්  සමග ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරමින්,  අධිෂ්ඨානශීලිව‍ රට ඉදිරි සංවර්ධනය කරා ගෙනයාමේ වැඩපිළ‍ිවෙලේ පංගුකාරයින් වීමේ වාසනාව අප සැමට  හිමිව තිබෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම්වරයා වැඩබාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර දෙක තුලම දැවැන්ත අභියෝගයන් පවතින බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර තුල විශ්වාසය තහවුරු කිරීම අප සැමගේ කාර්යභාරය වන බව ද සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත්, නව වැඩකටයුතු කිහිපයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බවත්, නව ලේකම්වරයාගේ අත්දැකීම් ද සමගින් එක පවුලක් ලෙස ඉදිරියට කටයුතු සිදු කරන බව ද පැවසීය.

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිය ධූරයේ වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට  පැමිණි සිටි නිළධාරීන් හා කාර්ය මණ්ඩලය සුභ පැතුම් එක් කල අතර,  නව ලේකම්වරයා ඔවුන් සමග සුහඳ කතාබහක ද නිරත විය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මින් පෙර ද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද  කටයුතු කල අතර, කොළඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ද, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ ද කටයුතු කර ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් සිදුකල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT