අලි – ඇතුන්ට සහ සතුන්ට මරණය ගෙන දිය හැකි තරමේ විදුලි සැරක් ලබාදිය හැකි විදුලි වැටක පිටුපස තිබෙන්නේ බොහෝ විට ජාතික විදුලිබල පද්ධතියෙන් නීති විරෝධීව විදුලි බලය යොදාගත් අවස්ථාවක් විය හැකිය.
ආගමික හා ආර්ථික වශයෙන් වටිනාකමකින් යුක්ත වන්නා සේම සංචාරක ආකර්ෂණයේ කොටසක්ද වන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අලි ඇතුන් ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. “ස්වභාව ධර්මය සඳහා වන ලෝක අරමුදල” පවසන පරිදි 19 වැනි සියවස ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අලිගහනය සියයට 65 කින් පමණ පහළ ගොස් තිබේ.
අලි – මිනිස් ගැටුමට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා දැනට ඇති සාර්ථකම ක්‍රමවේදයක් ලෙස විදුලි වැට හැඳින්විය හැකිය. නමුත් මේ වනවිට විදුලි වැට අවභාවිත කිරීමට ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙන් එය යම්තාක් දුරට අසාර්ථකද වී ඇත. අලි – මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 300 කට වඩා (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
එමෙන්ම විදුලි වැට ඉදිකළ යුත්තේ මිනිසුන් විසින් භාවිත කරන භූමියේ මායිමේ වුවද වර්තමානයේ විදුලි වැට ඉදිකිරීම බොහෝ විට සිදු වී ඇත්තේ වන අලින් වනජීවී රක්ෂිත තුළට ගාල්කර ඒවායේ මායිමේය. වන අලි ඇතුන් වනජීවී රක්ෂිත තුළට ගාල් කිරීම වෙනුවට වන අලින්ගේ ප්‍රහාරවලින් බැට කන ගම්මාන ආරක්ෂාවන පරිදි ඒ වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීම සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීම මඟින් වැඩි සාර්ථකත්වයක් අත්කරගත හැකි බව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඒ ආකාරයෙන් ඉදිකර ඇති විදුලි වැට සාක්ෂි දරයි. එසේම මහා පරිමාණ සංවර්ධිත ප්‍රදේශ සහ කෘෂි බිම්වල අලි ඇතුන් ගැවසෙන මායිමේ රේඛීය විදුලි වැට ඉදිකිරීම වඩාත් සුදුසුය යන්නෙන් අදහසක් පවතියි. නමුත් තවමත් ශ්‍රී ලංකාවේ එම තත්ත්වය දක්නට නොමැත.
විදුලි වැටක් සවිකිරීමේ පරමාර්ථය වන්නේ වගාවන්, නිවාස සහ වතුපිටිවලට වන සතුන් මඟින් සිදුවන හානි වළක්වා ගැනීමයි. ඒ සඳහා යොදන විදුලි බලය අඩු ශක්තියකින් සමන්විත විය යුතු අතර එමගින් අඩු විදුලි සැරක් වැදීම මඟින් සතුන් විකර්ශනය කිරීම සිදු කරයි. විශේෂයෙන් අලි – ඇතුන් යම් ප්‍රදේශයකට ඇතුළුවීම වැළැක්වීම පිණිස යොදා ගන්නා විදුලි වැට ඔවුන්ට හානිකර නොවිය යුතුය යන්න ප්‍රධාන වෙයි. විදුලි වැටක පරමාර්ථය එසේ වුවත්, විදුලි වැටවල්වල ගැටී අලි – ඇතුන් මිය යාම කලක සිට සිදු වේ. එමෙන්ම අලි – ඇතුන්ට අමතරව එවැනි හානිකර විදුලි වැටවල්වල ගැටී විවිධ වන සතුන් මරණයට පත්වීම මෙන්ම මනුෂ්‍ය ජීවිත පවා අහිමිවීමේ සිදුවීම්ද වාර්තා වේ.
එසේ වුවද සිය ජීවිත සහ වගාවන් ආරක්ෂාකර ගැනීම සඳහා මාරාන්තික පූර්වාරක්ෂක ක්‍රමෝපායයන් අනුගමනය කිරීම ගොවීන් නතරකර නැත. ශ්‍රී ලංකාව අලි ඇතුන් ඈත් කර තැබීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමට අවසර දෙන අතර, බරපතළ තුවාල සිදු නොකර ඔවුන්ව එලවා දැමීමට තරම් ආරෝපණය ප්‍රබල වේ. තල්ගස්වැව ප්‍රදේශයද ඇතුළුව ශ්‍රී ලංකාව තුළ කිලෝමීටර් 5000 ක් පමණ විදුලි වැටවල් ඉදිකර තිබෙන අතර එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂිත වේ. පෞද්ගලිකව තනන ලද විදුලි වැටවල්වලට ජාතික විදුලිබල පද්ධතියෙන් නීත්‍යනුකූලව සහ ඍජුව විදුලිය ලබා ගැනීමේ ඉඩකඩක් නොමැත.
අලි – ඇතුන්ට සහ සතුන්ට මරණය ගෙන දිය හැකි තරමේ විදුලි සැරක් ලබාදිය හැකි විදුලි වැටක පිටුපස තිබෙන්නේ බොහෝ විට ජාතික විදුලිබල පද්ධතියෙන් නීති විරෝධීව විදුලි බලය යොදාගත් අවස්ථාවක් විය හැකිය. සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන් පවසන්නේ අලි ඇතුන් මරණයට පත් කිරීම පවා හැකි ඉහළ වෝල්ටීයතාවයෙන් යුතු විදුලි වැටවල් නීතිවිරෝධී ලෙස ගොවීන් ඉදිකරන බවයි. එසේම විවිධ ප්‍රදේශවල මිනිසුන් වගා ආරක්ෂා කිරීමට අමතරව සතුන් දඩයම් කිරීම සඳහාද විදුලි වැට භාවිත කරති. එසේ හෙයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව අලි වැටවල් ඉදිකිරීම මේ වනවිට සම්පූර්ණයෙන්ම තහනම්කර තිබේ.
රජයේ විදුලි වැටකට යොදන විදුලි ධාරිතාව වොට් 10000 – 12000 අතර අගයක් ගනියි. නමත් එම විදුලි ප්‍රමාණය සතෙකු මියයාමට තරම් ප්‍රමාණවත් වන්නේ නැත. නමුත් සතෙකු නොකඩවා විදුලි වැටේ ගැටී සිටියහොත් යම් ගැටලුවක් ඇති විය හැකිය. සාමාන්‍යයෙන් අලිවැටක බ්‍රේකර් සිස්ටම් යොදා ඇති හෙයින් එකම ස්ථානයක සතෙකු රැදී සිටින්නේ නැත. අලි ඇතුන් අලි වැටේදී මිය යන්නේ ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලිය සැපයූ විටකදී හෝ අලි වැට මැද හිර වූ විටයි. එසේම සමහර අවස්ථාවලදී බ්‍රේකර් සිස්ටම් ක්‍රියා විරහිත වී නොකඩවා විදුලියට සතා ඇලුණහොත් මියයාමට ඇති අවස්ථාවද වැඩිය.
2018 වසරේ සිට 2023 වසර දක්වා විවිධ හේතූන් මත මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව 4700 ක් පමණ වන බව සඳහන් වේ. එමෙන්ම 2019 සිට 2023 වසර දක්වා විදුලිය හේතුවෙන් මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව 322 ක් පමණ වන බවද ගණන් බලා ඇත. එසේ මිය ගිය අලි ඇතුන් කිහිප දෙනෙකුගේ විස්තර මෙසේය.
පසුගියදා මින්නේරිය රොටවැව ප්‍රදේශයේ තිබී කෝලිය ඇත් රජුගේ යැයි සැකකෙරෙන සිරුරක් හමුවුණි. දඩයක්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වී ඇති මින්නේරිය සිටි තරුණ ඇතෙකු වන කෝලිය ඇත් රජු යුවරජ මහසෙන් ඇත් රජුගේ හෙඩ රූපය මෙන්ම දළ යුගලද එලෙසින් පිහිටා තිබුණේය. එමෙන්ම පසුගිය වසරේ පුත්තලම කරුවල ගස් වැව ප්‍රදේශයේදී රක්ෂිත ඉඩම ආක්‍රමණය කරමින් නීති විරෝධී ලෙස විදුලි වැට භාවිතයෙන් විදුලිය යොදා වළගම්බා සහ මහතිස්ස යන ඇත් රජුන් දෙදෙනා ඝාතනය කළහ. ඊට අමතරව පසුගිය වසරේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් හිගුරුවැව පලාගල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ 679 හිගුරුවැව ග්‍රාම නිලධාරි වසමේ වයස අවුරුදු 45 ත් 50 ත් පමණ වන දළ ඇතෙකුගේ මරණයත් මීට අයත් වේ. සමනල කන් තිබුණු එකම ඇතෙක් බවට නම්කර තිබූ, ලෝක ප්‍රසිද්ධ වූ, විදේශ සංචාරකයන් අතර ජනප්‍රිය වූ, විශාල ශරීරයක් හිමි අලංකාර ඇතෙකු වූ රේවත ඇත් රජුද 2021 වසරේ මාර්තු මස 08 වැනිදා කැකිරාව ප්‍රදේශයේදී විදුලිය යොදා ඝාතනයකට ලක්කර තිබුණි. 2022 වසරේ ජූලි මස 26 වැනිදා කැකිරාව ප්‍රදේශයේදී විදුලිය භාවිත කරමින් භරණ ඇත් රජුද මරණයට පත්කර තිබේ. මනස්කාන්ත වූ අප ලාංකීය සොබාදම් මාතාව සිය ගාම්භීර තේජසින් සැරසවූ, අකලට පරව ගිය තේජාන්විත අගනා වූ සන්නාමයක් වන දනුද්දර ඇත් රජුද 2023 වසරේදී අනවසර විදුලි රැහැනකට බිලිව මිය ගියේය.
ගම්වල නිදහසේ සැරිසරන සතුන් මැරීම නීති විරෝධීය. එසේ සිදු කරන අපරාධකරුවන්ට පහත දණ්ඩ නීති සංග්‍රහය මඟින් දඬුවම්ද කළ හැක. ඒ යටතට 1907 අංක 13 දරණ සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත,1958 අංක 29 දරණ සත්ත්ව පනත, 2009 අංක 10 දරන සංශෝධිත සත්ත්ව පනත සහ මීට අමතරව වනජීවී දෙපාර්තමේන්තුවට සත්ත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (469 පරිච්ඡේදය) යටතේ පහත සඳහන් දේ උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට නඩු පැවරීමද කළ හැකිය.
මෙසේ සිදුවන ජීවිත හා දේපොළ හානි අවමකර ගැනීමට නම් අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල පිරිස් විශේෂයෙන් රාත්‍රී කාලයේ කටයුතු කිරීමේදී සැළකිලිමත් වීම, ග්‍රාමීය මාර්ග දෙපස එළි පෙහෙළිකර රාත්‍රියේදී විදුලි ආලෝකය ලබාදීම සහ අපරීක්ෂාකාරී ලෙස හැසිරීමෙන් වැළකීම වැනි කරුණු සඳහා අවධානය යොමු කළ හැක. තවද වනඅලි – මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල, වන අලින් නිවෙස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වන කෘෂි අස්වනු නිවෙස් තුළ ගබඩාකර නොතැබීමද වැදගත් වෙයි.
සොබාදහමේ අගනාම නිර්මාණයක් වන අලි – ඇතුන් රැක ගැනීම අප සැමගේම යුතුකමකි. එසේ නොවුනහොත් අනාගත පරපුරට අලි – ඇතුන් දැක ගැනීමට හැකි වන්නේ කෞතුකාගාරවලින් පමණකි. විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල අමාත්‍යංශය එක්ව යාන්ත්‍රණයක් ගෙන ආවහොත් අවුරුද්දක් පාසා විනාශවන අලි – ඇතුන් සහ සතුන් පමණක් නොව මනුෂ්‍ය ජීවිත පවා ආරක්ෂාකර ගැනීමට හැකි වේ.
නෙත්මි පූජනී රත්නායක