Home » රටටත් ජනතාවටත් වැඩි වාසියක් ලැබෙන නව IMF ගිවිසුමකට යා යුතුයි

රටටත් ජනතාවටත් වැඩි වාසියක් ලැබෙන නව IMF ගිවිසුමකට යා යුතුයි

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
December 11, 2024 1:38 am 0 comment

IMF ගිවිසුමේ ඇති අඩුපාඩු ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවකදීය.

රජය විශාල ජනවරමක් හා වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලැබ පාර්ලිමේන්තු නියෝජනය ලැබූ විගස මෙය සිදු කරන බව කීවත් ඒ පොරොන්දු කඩකර ඇතැයි ද හෙතෙම කීවේය.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

අප රට ද්විපාර්ශ්වීය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට යොමු වූ අවස්ථාවේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රටට වාසියක් නොවන බවයි. අයිඑම්එෆ් රාමුවේ රටටත් ජනතාවටත් වැඩි වාසියක් ලබන නව අයිඑම්එෆ් ගිවිසුමකට යා යුතු බවත් යෝජනා කළා. එදා ජනතා විමුක්ති පෙරමුණ ද කියා සිටියේ නව ණය තිරසරකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බවයි. ජනතාවගේ අසහනය, පීඩනය, ණයබර වැඩි වී සමාජයේ අවදානම් සහිත කොටස්වලට ළදරුවන්ට මවුවරුන්ට තරුණ පරපුරට විශාල ලෙස අගතිගාමී බලපෑම් දැනටමත් සිදු වෙනවා. මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්න ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදු වෙනවා. තිබුණටත් වඩා ණය ගෙවීමට වෙනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වීමේ දී ලසාර්ඩ් ක්ලිපර්ඩ් චාන්ස් කියන සමාගම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවල රට වෙනුවෙන් පෙනී සිටින බව කීවා. මේ රටම ඝානා රටේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඝානාවට ලැබුණු සහනය අප රටට ලබා ගැනීමට නොහැකි වුණා. ඝානාවට ගෙවිය යුතු ණයෙන් 37%ක් අඩුකර ගත හැකි වුවත් අප රටට ණය කප්පාදුවක් වෙනුවට වැඩිපුර ණය ගෙවීමට සිදුව තිබෙනවා.

එම නිසා රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතුයි. ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතුයි. අප රටේ ණයබර වැඩිවන විට සෞඛ්‍යය, අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර ක්ෂේත්‍රවල ගැටලු රැසක් ඇති වෙනවා. මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු යැයි ද කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT