Home » ඔස්ට්‍රේලියාවෙන් ගුවන් හමුදාවට Beechcraft King Air 350 වර්ගයේ යානයක්

ඔස්ට්‍රේලියාවෙන් ගුවන් හමුදාවට Beechcraft King Air 350 වර්ගයේ යානයක්

by mahesh
December 13, 2024 1:00 am 0 comment

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව විසින් ඔස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බළකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදු විය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඬලීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි.

ඔක්තෝම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජිමක් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිස් ජාවාරම ඇතුළු ජාත්‍යන්තර අපරාධ රැසකට එරෙහිව සටන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

මෙම තිළිණය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සහයන් මැනවින් ප්‍රදර්ශනය කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “King Air 350 ගුවන්යානය අප වෙත පිරිනැමීම වෙනුවෙන් අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා.එමඟින් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට පවතින තර්ජනවලට එරෙහිව සාර්ථකව සටන් කිරීමේ හැකියාවන් තවදුරටත් සවිමත් කරනවා පමණක් නොවේ,දෙරට අතර පවතින සබඳතාවද මැනවින් අවධාරණය කරනවා. කලාපීය ආරක්ෂක ක්‍රමවේදයන් වෙනුවෙන් අපගේ දිගුකාලීන හවුල්කරුවෙකු වන ඔස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය පවත්වාගෙන යාමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා.”

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති මෙම උත්සවය ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා සබඳතාවන් නිර්වචනය කරන රන් ප්‍රමිතියෙන් යුත් තවත් එක් සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කරමින් ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බළකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම්, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර්, RAN (Royal Australian Navy) (රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාව) විසින් වැඩිදුරටත් සිය අදහස් එකතු කළේ මෙසේය. “අද දින මෙම පිරිනැමීම අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය මැනවින් පිළිබිඹු කිරීමට කදිම අවස්ථාවක් වන අතර, එක්ව ක්‍රියා කිරීම මඟින් අපට බොහෝ බාධක සාර්ථකව ජය ගත හැකි බව සැලකිල්ලට ගැනීම ද ඉතා වැදගත් වෙනවා. නීති විරෝධී සමුද්‍ර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු වැළැක්වීමට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT