Thursday, May 8, 2025
Home » ‘ගෝල් මාවල්ස්‘ හිමිකරු රිමාන්ඩ්

‘ගෝල් මාවල්ස්‘ හිමිකරු රිමාන්ඩ්

by chanaka
December 13, 2024 4:16 pm 0 comment

මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන “ලංකා ටී 10” සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් ටකාර් නමැත්තා ලබන16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා හමුවට පමුණුවනු ලැබීය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කරන මෙම සැකකරු තම කණ්ඩායමේ ක්‍රීඩා කරන බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකු වන ඇන්ඩෲ ප්‍රෙචර් නමැත්තාට තරග පාවාදීම සඳහා යෝජනා කර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය.

තමා නම් කරන පන්දු යවන්නන්ට අදක්ෂ ලෙස ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු විසින් අදාළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයාට යෝජනා කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 15000 ක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවත් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

මේ ආකාරයෙන් කටයුතු කළහොත් තවත් ඇමරිකානු ඩොලර් 30000 ක මුදලක් ලබා දෙන බවට එම ක්‍රීඩකයාට මෙම සැකකරු විසින් පොරොන්දු වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව වෝහාරික මෙන්ම අනෙකුත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩි දුරටත් අධිකරණයෙන් ඉල්ලීම් කළා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

තමා සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මෙම සැකකරු විසින් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් නම් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනමින් සලකා බැලිය හැකි බවත් මේහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාර ඉන්දීය ජාතිකයාගෙන් විමසා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් දැයි විමසීය.

එම අවස්ථාවේදී සැකකරු සඳහන් කළේ තමා එවැනි ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබාදීම පිළිබඳව හොඳින් සිතා බලා ඒ පිළිබඳව මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව අදාළ සැකකරු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට නියම කළ මහේශාත්වරයා එදින පරීක්‍ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ පොලිස් ඒකකයට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT