විශිෂ්ට ජනමාධ්‍ය උපාධිධාරීන් බිහි කිරීමේ මධ්‍යස්ථානයක් වීම, නිර්මාණාත්මක, නවෝත්පාදන හා වෘත්තීය ජනමාධ්‍ය භාවිතයෙන් ජාතික හා ජාත්‍යන්තර සංවර්ධනයට දායක වීම ජනමාධ්‍ය පීඨයේ දැක්ම බව ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවැසීය.
මෙරට පළමු ජනමාධ්‍ය පීඨය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පීඨය ස්ථාපිත කිරීම පසුගියදා සිදු කෙරිණි. ඒ අනුව එය මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ස්ථාපිත කළ පළමු ජනමාධ්‍ය පීඨය බවට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රීපාලි මණ්ඩපාධිපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා “දිනමිණ“ කළ විමසීමේදී ඒ මහතා මේ බව කීවේය.
2024 නොවැම්බර් 14 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මේ පීඨය ස්ථාපිත කළා. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ අත්සනින් යුතුව මේ ගැසට් නිවේදනය නිකුත් කළා. ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨ සහ අධ්‍යයන අංශයන් දක්වමින් නිකුත් කර තිබූ 1996/16 දරන ගැසට් පත්‍රයේ උපලේඛනය සංශෝධනය කරමින් මේ ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ අනුව අංක 928/16 ගැසට් පත්‍රයේ පළමු වැනි තීරුව ඉවත් කර ජනමාධ්‍ය පීඨයක් ද, දෙවැනි තීරුව ඉවත් කර ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන අංශය ද ශ්‍රීපාලි මණ්ඩපයට එක් කර තිබෙනවා යැයිද හෙතෙම කීවේය.
අක්කර 34ක භූමියකින් යුක්ත හොරණ, වෑවල සුන්දරම ස්ථානයක් විදියට මේ මණ්ඩපය පිහිටා තිබෙනවා. දේශපාලනඥයකු වූ විල්මට් ඒ. පෙරේරා මහතා විසින් භාරයක් මඟින් මේ ඉඩම ලබා දුන්නා. ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ලැබුණු ආරාධනාවකට අනුව විල්මට් පෙරේරා මහතා එහි ගියා. එහිදී රවින්ද්‍රනාත් තාගෝර් පඬිවරයා හමු වුණා. විල්මට් පෙරේරා මහතා මේ ඉඩම පරිත්‍යාග කළේ ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි ස්ථානයක් ස්ථාපිත කිරීමටයි. විල්මට් පෙරේරා මහතාගේ ආරාධනාවකට අනුව 1934 වසරේදී මෙරටට පැමිණි රවින්ද්‍රනාත් තාගෝර් මහතා “ශ්‍රී පාලි” ආයතනය ඉදි කිරීමට මුල් ගල් තිබ්බා. කැලණිය විශ්වවිද්‍යාලයට ලැබුණු මේ ඉඩම පසුව කොළඹ විශ්වවිද්‍යාලයට පවරා දීම සිදු කළා. එතැන් සිට වෙස්ටර්න් කැම්පස් ලෙස එය ප්‍රසිද්ධ වුණා. 1996 වසරේ එවකට ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව ශ්‍රීපාලි මණ්ඩපය ස්ථාපිත කළා යැයිද පැවැසීය.
ශ්‍රීපාලි මණ්ඩපය 1996 වසරේ හිටපු රජය ප්‍රාසාංගික කලා පීඨයක් සහ ජනමාධ්‍ය පීඨයක් ලෙස නම් කළ ද, 1996 සිට 2024 දෙසැම්බර් මස වන තෙක් එය ක්‍රියාත්මක වූයේ අංශ ලෙසටයි. ජනමාධ්‍ය හා ප්‍රාසාංගික කලා අංශ දෙකක් ලෙස ක්‍රියාවට නැංවූ මෙහි ජනමාධ්‍ය යටතේ තවත් අංශ දෙකක් පවතිනවා. එකක් ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව. අනෙක භාෂා හා පරිගණක අධ්‍යයන දෙපාර්තමේන්තුව. 2022 වසරේදී පීඨයක් නිර්මාණය කර ගත හැකි ලෙස මානව හා භෞතික සම්පත් තිබුණා. ඒ බව කවුන්සිලයට දැනුම් දුන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුකමිටුවලින් ද පීඨයක් ලබාදීමට අනුමත කළා. ප්‍රාසාංගික යටතේ වෙනත් අංශ තිබුණේ නැහැ. ඒ සඳහා ප්‍රාසාංගික කලා පීඨයක් වීමට තරම් අංශ නොතිබූ නිසා පසු අවස්ථාවකදී එය පීඨයක් බවට පත් කිරීමට උපදෙස් ලැබුණා. 2024 නොවැම්බර් 14 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පීඨයක් ලබාදීම කළා යැයිද සඳහන් කළේය.
සමාජයේ පැන නඟින අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වෘත්තීයභාවය කරා යෑමට සිසුන්ට පහසුකම් සැලසීම මෙහි මෙහෙවර බවට පත්ව තිබෙන බව ද වැඩිදුරටත් පැවැසීය.