Home » අත්අඩංගුවට පත් සැරයන්ගේ වැඩ තහනම්
ඉමිටේෂන් වෙළෙන්දාගේ මුදු-මාල ඉස්සුවැයි

අත්අඩංගුවට පත් සැරයන්ගේ වැඩ තහනම්

by mahesh
December 13, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ඉමිටේෂන් ආභරණ අලෙවි කරන ජංගම වෙළෙන්දකුගෙන් මාලයක්, පෙන්ඩනයක් සහ මුද්දක් සොරාගත් පොලිස් සැරයන්වරයකු පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සිදුවීම මුල් කරගෙන සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරිය ඊයේ (12) පියවර ගත්තාය.

පොලීසියේ නිලධාරීන්ගේ වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නිරතව සිටි එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේද එම ඒකකයේ නිලධාරීන් විසිනි. මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අසල මාර්ගයේ රැඳෙමින් ඉමිටේෂන් මාල, මුදු සහ පෙන්ඩන් අලෙවි කරන වෙළෙන්දකු සතු භාණ්ඩ පරීක්ෂා කරන මුවාවෙන් මේ සැරයන්වරයා මුද්දත්, පෙන්ඩනය සහිත මාලයත් සොරාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. එම වෙළෙන්දා විශේෂ විමර්ශන ඒකකයට ගොස් මේ සොරකම ගැන එහි සිටි නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් සැරයන්වරයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී සොරාගත් භාණ්ඩ හමු වී ඇත.

ඒ අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු මරදාන පොලීසියට භාර දී ඇති අතර, ඔහු ඊයේ (12) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT