Home » කොළඹ ගිහින් එද්දීයි අනතුර වෙලා තිබෙන්නේ
හිසේ කැක්කුම නිසා ලොකු දුවගේ ඇස් පෙන්නන්න

කොළඹ ගිහින් එද්දීයි අනතුර වෙලා තිබෙන්නේ

දුවලාගේ පියාට නින්ද ගිහින් ලොරියක වැදිලා - දක්ෂිණ අධිවේගයේ රිය අනතුරින් මියගිය දැරියන්ගේ මාමා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියයි

by mahesh
December 13, 2024 1:00 am 0 comment

කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට

“මියගොස් සිටින්නේ මගේ පොඩි අක්කාගේ දියණියන් දෙදෙනායි, ඔවුන් කොළඹ සිට මාතර නිවෙසට අධිවේගී මාර්ගයේ පැමිණෙන අතරතුර වාහනය පැදවූ මගේ අක්කාගේ සැමියාට නින්ද ගිහින් මේ අනතුර සිදුව තිබෙනවා…” යැයි පෙරේදා (11) සිදුවූ රිය අනතුරකින් පසු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසල් සිසුවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඔවුන්ගේ මාමා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර, නූපේ, ශ්‍රී රාහුල පාරේ පදිංචි උබේසිංහ ආරච්චිගේ ඉසුමි රදීෂා (12) සහ උබේසිංහ ආරච්චිගේ සෙනුදි දම්සාරා (10) නමැති එකම පවුලේ සොහොයුරියෝ දෙදෙනෙකි.

ගාල්ල ජාතික රෝහලේ අධිකරණ අංශයේදී මේ මරණ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ පැවැත්වූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඉදිරියේ සාක්ෂි දුන් මියගිය දැරියන්ගේ මාමා වන ගාල්ල, වැකුණුගොඩ පාර පදිංචි දනුෂ්ක මහානාම රාජපක්ෂ (34) මහතා මෙසේද කීවේය:

“මියගොස් සිටින්නේ මගේ පොඩි අක්කාගේ දියණියන් දෙදෙනායි. මගේ අක්කා ගුරුවරියක්. ඇය මාතර සාන්ත තෝමස් කුමර විදුහලේ උගන්වනවා. ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔවුන්ට සිටියේ මේ දියණියන් දෙදෙනා පමණයි. මොවුන් මාතර සුජාතා විද්‍යා‍ලයේ අට ශ්‍රේණියේ සහ පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබුවා. මේ දියණියන් අධ්‍යාපන කටයුතු කරගෙන හොඳින් සිටියා. අයියාගේ මෝටර් රථයෙන් අයියාත්, අක්කාත් දියණියන් දෙදෙනාත් ඊයේ කොළඹ ගිහින් තියෙන්නේ ලොකු දුව වෛද්‍යවරයෙකුට පෙන්වන්නයි. ඇයට හිසේ කැක්කුමක් සෑදී එය පෙන්වූ විට වෛද්‍යවරුන් කියා තිබුණා ඇස්වල ප්‍රශ්නයක්දැයි පරීක්ෂා කිරීමට අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයකුට පෙන්වන ලෙස. ඒ සඳහා තමයි ඔවුන් කොළඹ ගිහින් තිබුණේ. වෛද්‍යවරයාට පෙන්වලා නැවත නිවෙස කරා එන ගමනේදී තමයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ.

“අයියාට නින්ද ගිහින් ඉදිරිපසින් ගමන් කරපු ලොරියක මොටර් රථය වැදිලා. පින්නදූවත් ඉමදූවත් අතර සියවැනි සැතපුම් කණුව ආසන්නයේදී රාත්‍රී 10.55ට පමණ මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. අයියා වාහනය පදවලා තියෙනවා. වාහනයේ ඉදිරිපස වම් පැත්තේ අසුනේ පොඩි දුවත්, ඊට පිටුපස අසුනේ ලොකු දුවත්, පිටිපස දකුණු පැත්තේ මගේ අක්කාත් වාඩි වී සිට තිබෙනවා. අයියාට නින්ද ගිහින් ඇහැරෙන කොට ඉදිරියෙන් වාහනයක් දැකලා මෝටර් රථය පුළුවන් තරම් දකුණට කපලා තිබෙනවා. ඒත් රථයේ වම් පැත්ත ලොරියේ වැදිලා. ඒ නිසා තමයි වම් පැත්තේ හිටපු දියණියන් දෙදෙනාට වැඩිපුර තුවාල සිදු වී තිබෙන්නේ, ඔවුන් ‍ගිලන් රියකින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා. ඒ ගිලන් රථයම අපේ ගෙදරට ඇවිත් කිවුවා මේ අනතුර ගැන. මම ඒ වෙලාවේම රෝහලට ආවා. ඒ වන විටත් පොඩි දුව මියගිහින් තිබුණා. ලොකු දුවගේ හිසේ ශල්‍යකර්මයක් කරලා දැඩි සත්කාර ඒකකයේ හිටියේ. අයියාටයි අක්කාටයි සිහිය තිබුණා. ඔවුන් මා සමග කතා කළා. අද උදේ ලොකු දුවත් මිය ගිහින් බව දැනගත්තා. ”

මේ මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ලැබූයේ ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය විසිනි. ඒ වාර්තා අනුව ඉසුමි රදීෂා නමැති වැඩිමල් දියණියගේ මරණය මාර්ග අනතුරින් හිස්කබලට සහ මොළයට සිදු වූ තුවාල හේතුවෙන් සහ සෙනුදි දම්සාරා නමැති බාල දියණියගේ මරණය මොළයේ ස්නායු සෛලවලට සිදු වූ තුවාල හේතුවෙන් සිදු වී ඇති බවට හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා තීන්දු කළේය.

පින්නදූව අධිවේගි මාර්ග පොළිස් මුරපොළ මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT