Home » විදේශ රැකියා බලපත්‍ර ලබාගෙන වංචනික ක්‍රියාවල නිරත වෙන්න එපා

විදේශ රැකියා බලපත්‍ර ලබාගෙන වංචනික ක්‍රියාවල නිරත වෙන්න එපා

by chanaka
December 13, 2024 12:32 pm 0 comment

විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි වංචනික ක්‍රියාවල නිරත නොවී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීතිරීතිවලට හා ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කරන ලෙසට නව බලපත්‍රලාභීන්ගෙන් කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ (12) කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත් නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු බවත්ය.

මෙහිදී කාර්යාංශයේ කටයුතු පිළිබඳ, කාර්යාංශය මගින් ලබාදෙන්නා වූ අනුමැති, ලබාදෙන පුහුණු හා කාර්යාංශ පනත ආදී කරුණු රැසක් පිළිබඳව ද රැකියා ලාභීන් දැනුවත් කරන ලදි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සුදුසුකම් ලැබූ නව රැකියා නියෝජිතයින් 70 දෙනෙකු අද දින වැඩසටහනට සහභාගී විය.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශ රැකියා නියෝජිතායතන සංඛ්‍යාව 1030 ක් බවද කාර්යාංශය සදහන් කරයි. මෙම අවස්ථාවට අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන අනුර ලියන්වල හා සෙනරත් යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසික ජයසිංහ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT