Home » ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

by sachintha
December 16, 2024 1:34 am 0 comment

මෙවර ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය පෙරේදා (14)ට යෙදුණු උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුලු දාගැබ් රජමහා විහාරාධිපති, ධර්මකිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ පැවසූහ. පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බළන්ගොඩ – බගවන්තලාව මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් පෙරේදා (14) අලුයම වැඩම කරවූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රීපාද පද්මය සුවඳ පැණින් දෝවනය කර ආගමික වතාවත් ගණනාවක් පැවැත්විය. අනතුරුව එදින උදෑසන යෙදුණු සුබ නැකතට වැඩම්ම වූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කිරීමෙන් පසු ගෞතම ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබූහ.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කළ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රන්සිවිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්පෝපහාර දැක්වීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැඳී සිටියහ.මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, ශ්‍රීපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිස් සුනඛ අංශයේද සහාය ඇතිව ශ්‍රීපාද හැටන් මාර්ගයේත්, හැටන් දුම්රිය ස්ථානයේත්, නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩ මළුව දක්වාත් විශේෂ සෝදිසි මෙහෙයුම් යොදා ඇති බවත් හැටන් පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවැසීය.

මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදී වන්දනාකරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට පියවර ගෙන ඇති නිසා ප්ලාස්ටික් වතුර බෝතල් ශ්‍රීපාද උඩ මළුව දක්වා රැගෙන යාම තහනම් කර ඇත. මේ අතර දුම්රියෙන් ගෞතම ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මඟින් වන්දනාකරුවන්ට යාමට සහ ආපසු පැමිණීමට බස් රථ ගණනාවක් ධාවනයට එක්කර ඇති බවත්, හැටන් දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණෙන සැම අවස්ථාවකදීම බස් රථ දුම්රිය ස්ථානයේ නතර කර තබන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවැසීය.

හැටන් – රංජිත් රාජපක්ෂ, කහවත්ත – ලසන්ත නිරෝෂණ පෙරේරා, හැටන් – මධ්‍යම විශේෂ, කුරුවිට – කේ.ඒ. සුනිල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT