Home » ‘පුෂ්පා’ මංගල දර්ශනයේදී කාන්තාවක මියයෑමේ සිදුවීමට සුපිරි නළුවාට ඇප

‘පුෂ්පා’ මංගල දර්ශනයේදී කාන්තාවක මියයෑමේ සිදුවීමට සුපිරි නළුවාට ඇප

by sachintha
December 16, 2024 1:35 am 0 comment

බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වීම ආරම්භ කළ ‘පුෂ්පා -2’ තෙළිඟු චිත්‍රපටයේ හයිද්‍රබාද් නුවර සිනමා ශාලාවක පැවති මංගල දර්ශනය අතරතුර සිදුවූ තෙරපීමකින් කාන්තාවක් මිය යෑමේ සිදුවීමට අත්අඩංගුවට ගත් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සුපිරි නළු අල්ලු අර්ජුන් ඇප මත නිදහස් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම මංගල දර්ශනයට සහභාගිවූ අල්ලු අර්ජුන් දැක බලා ගැනීමට රසික රසිකාවියන් උත්සාහ ගැනීමේදී සිදුවූ තෙරපීමේදී කාන්තාව මියගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා පොලීසියට කළ පැමිණිල්ලට ඔහුගේ නමත් ඇතුළත් වීම නිසා බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මියගිය 35 හැවිරිදි කාන්තාවගේ අට හැවිරිදි පුත්‍රයා ද අධික තෙරපීමෙන් තුවාල ලබා ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව එරට මාධ්‍ය සඳහන් කළේය. හයිද්‍රබාද් නුවර මංගල දර්ශනයට අතිවිශාල රසික රසිකාවියන් පිරිසක් එක්රොක්වී ඇති අතර, සුපිරි නළුවා අනපේක්ෂිතව සිනමා ශාලාවට පැමිණීමෙන් ජනතාව අතර දැඩි කලබලකාරී වාතාවරණයක් උද්ගතවීම අධික තෙරපීමට හේතුවී ඇතැයි වාර්තා වේ. අල්ලු අර්ජුන්ට අමතරව, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ සිනමා ශාලාවේ කළමනාකාරීත්වය සිය බිරියගේ මරණයට වගකිවයුතු බව එම පැමිණිල්ලෙහි සඳහන් වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT