රට පුරා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට එරෙහිව දකුණු කොරියාවේ විපක්ෂය විසින් දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ දෝෂාභියෝගයෙන් පරාජයට පත්වීමෙන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ධුරය අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආසන 300කින් සමන්විත දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගය ජය ගැනීමට ඡන්ද 200ක් අවශ්‍ය වූ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරු 192 දෙනාට අමතරව ජනාධිපතිවරයාගේ මහජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරුන් 108 දෙනාගෙන් 12 දෙනකු ද ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමෙන් දෝෂාභියෝගය ඡන්ද 204 කින් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 85ක් පමණක් බව ද වාර්තා වේ. තවත් ඡන්ද 8ක් අවලංගු වී ඇති අතර, මන්ත්‍රීවරු තිදෙනකු ඡන්දය භාවිත කිරීමට නොපැමිණි බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල සහ රාජකාරි අත්හිටුවා ඇති බවත්, දෝෂාභියෝගයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳ ජනාධිපතිවරයාට සහ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට බාර දීමෙන් පසු දකුණු කොරියාවේ අගමැතිවරයා නීත්‍යානුකූලව ජනාධිපති ධුරයෙහි බලය පවරා ගනු ඇතැයි ද වාර්තා වේ.
ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් පරාජයට පත්වීමෙන් පසු දකුණු කොරියාවේ දහස් සංඛ්‍යාත ජනතාව සෝල් නුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රැස්වී ප්‍රීතිඝෝෂා කළ බවත්, ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ මහජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තූතිය පුද කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීම හෝ බලතල නැවත පැවරීම හෝ තීරණය කිරීමට අධිකරණයට දින 180ක කාලයක් හිමිවී ඇති අතර, ඔහු ජනපති ධුරයෙන් ඉවත් කරන්නේ නම් නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා දින 60ක් ඇතුළත මැතිවරණයක් කැඳවිය යුතුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.