“නත්තල් කන්න තොපි එකෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ“ යැයි ජම්පටාවීදියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මුල්කරගෙන ඉන්දියාවේ මේ වනවිට රැඳී සිටින පාතාලයේ අපරාධකරුවෙකු විසින් දුරකතනයෙන් කළ තර්ජනයක ප්රතිඵලයක් ලෙස මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය අසල දී පෙරේදා (14) සිදුවූ වෙඩි තැබීම ගැන සැකයක් විමර්ශන කණ්ඩායම් වෙත මතුවී තිබේ.
එම තර්ජනය සිදුකර ඇත්තේ කුඩු සෙල්විගේ පුතෙකු විසින් බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. එම තර්ජනය සිදුකර පැය 24ක් යන්නට මත්තෙන් මාලිගාකන්ද අධිකරණය අසල වෙඩි තැබීම සිදුවූ බවද බුද්ධි අංශ සඳහන් කරයි.
කුඩු සෙල්විගේ පාර්ශ්වය සහ පූකුඩිකන්නා පර්ශ්වය අතර මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කාලයක සිට ජම්පටාවීදිය ආශ්රිතව ගැටුම් සිදුවන බව පොලීසිය කියයි. දෙපාර්ශ්වයේම දහ පහළොස් දෙනෙක් මෙම ගැටුම් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. කුඩු සෙල්විද මේ වන විට පූකුඩිකන්නාගේ පාර්ශ්වයෙන් එල්ලවූ වෙඩි ප්රහාරයකින් මියගොස් ඇත. දැන් එම කල්ලිය මෙහෙයවන්නේ ඇගේ දරුවන් තිදෙනා විසින් බව බුද්ධි අංශ සඳහන් කරයි.
මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී පෙරේදා (14) එල්ලවූ වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබුවේ කොළඹ 13 අන්තෝනි මාවතේ පදිංචිකාරියකි.
40 හැවිරිදි වියේ පසුවන ඇය මේ වන විට බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
ඇගේ සැමියාව වෙරළබඩ පොලීසියේ නිලධාරීන් විසින් වරෙන්තුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් ග්රෑම් 04යි මිලිග්රෑම් 05ක ප්රමාණයක් සමඟ පසුගිය ජූලි 07 වෙනිදා මෙම පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබී ඇතැයි පොලීසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ