Home » ටී 10 සුපර් ලීග් ක්‍රිකට් තරග පාවාදීමට පෙළඹුවැයි ‘ගෝල් මාවල්ස්’ හිමිකරු අද තෙක් රිමාන්ඩ්

ටී 10 සුපර් ලීග් ක්‍රිකට් තරග පාවාදීමට පෙළඹුවැයි ‘ගෝල් මාවල්ස්’ හිමිකරු අද තෙක් රිමාන්ඩ්

by sachintha
December 16, 2024 12:06 am 0 comment

 

ලංකා ටී 10 සුපර්ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුව තරඟ පාවාදීම සඳහා පෙලඹවීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් තක්කාර් නැමැත්තා අද (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පසුගිය 13 දා මෙම නියෝග කළේය. එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා තම සේවාදායකයා වරද පිළිගෙන අධිකරණයට පාපොච්චාරණයක ස්වරූපයේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් කඩිනමින් එම ප්‍රකාශය ලබාදීමට පියවර ගෙන ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒකී තරග පාවාදීමට පෙලඹවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් අනුව කරන ලද විමර්ශන කටයුතුවලින් පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය අධිකරණයට සඳහන් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා කඩිනමින් පියවර ගෙන ක්‍රියා කරන බවද එම අවස්ථාවේදී නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේය.

මෙම සැකකරු විසින් ඔහුගේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වන ඇන්ඩෘ ප්‍රෙචර් නැමැති ක්‍රීඩකයාට තරග පාවාදීමේ යෝජනාව කළ ඇති බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු යෝජනා කරන පන්දු යවන්නා එල්ල කරන පන්දුවලට අදක්ෂ ලෙස ක්‍රීඩා කළහොත් අ‍ෙමරිකානු ඩොලර් 15,000ක් ලබාදෙන බවට සැකකරු විසින් යෝජනා කර ඇති බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දැක්විය.මෙලෙස සැකකරු පවසන ආකාරයට ක්‍රියා කළහොත් මීළඟ තරග වාරයේදී එක් තරගකරුවකුට අ‍ෙමරිකානු ඩොලර් 30,000 බැගින් මුදල් ලබාදෙන බවටද සැකකරු එම ක්‍රීඩකයාට යෝජනා කර ඇති බව එම ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.සිද්ධියට අදාළ හඬ පට ඇතුළු ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද නීතිඥවරයා සඳහන් කළේය.මෙම සැකකරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තියට ප්‍රකාරව ප්‍රකාශයක් ලබාදීමට එකග වූයේ යම්කිසි පාර්ශ්වයක බලපෑමක් මතද නැතහොත් ස්වාධීනව ද යන්න මහේස්ත්‍රාත්වරයා අධිකරණයේදී සැකකරුගෙන් විමසා සිටියේය. එම අවස්ථාවේදී සැකකරු තමා ස්වාධීනවම ප්‍රකාශයක් ලබාදීමට එකඟ වූ බව අධිකරණයට දැන්වීය.

සිය ප්‍රකාශයක් ලබාදුන්නද නිශ්චිතවම ඇප ලබාදීම පිළිබඳව අධිකරණයට පොරොන්දු වීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සැකකරුට ප්‍රතිඋත්තර දැක්විය.

127 වගන්තියට ප්‍රකාරව සැකකරු ප්‍රකාශයක් ගොනු කළද මෙම අවස්ථාවේදී ඇප මත මුදාහැරීමට නොහැකි බවත් එම ප්‍රකාශය පදනම්ව කඩිනමින් විමර්ශන අවසන් කොට ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනුකිරීමට කටයුතු කිරීමෙන් ඇප ලබාදීමට හැකි බව රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට පැවසීය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතුවලට සිය සේවාදායකයා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට සහයෝගය දැක්වූ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වීය. ඒ අනුව මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT