ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා සමඟ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට සමත් වූවේය. දසුන් පන්දු 15කදී හයේ 4ක් හා හතරේ 2ක් සමඟ නොදැවී ලකුණු 39ක් වාර්තා කළ අතර, උඩ පන්දු දෙකක් රැකගෙන පන්දු රැකීමේදී දස්කම් දක්වා, පන්දු යැවීමේදී ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙළීමෙන් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයෙන් හා එක්දින සංචිතයෙන් ඉවත් කොට සිටින දසුන් ශානක මේ ලංකා ටී10 සුපර් ලීග් තරගාවලියේදී ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව පන්දු 17කදී ලකුණු 51ක් හා නුවරඑළිය කිංග්ස් පිලට එරෙහිව පන්දු 10කදී ලකුණු 20ක් ලබා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇස් ඇරවීමට සමත්ව සිටී.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති ලංකා ටී10 සුපර් ලීග් පළමු තරගයේදී කැන්ඩි බෝල්ට්ස් පිල ලකුණු 47කින් පරාජය කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල සමත්වී වැඩි ගෞරව දිනා ගත්තේය.
කැන්ඩි බෝල්ට්ස් කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල කඩුලු 6කට ලකුණු 163ක් ලැබූ අතර, කැන්ඩි බෝල්ට්ස් ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 116කට සීමා විය. මෙවර තරගාවලියේ ඕවර් 10කදී මෙතෙක් වැඩිම ලකුණු එකතුව වාර්තා කිරීමට ද හම්බන්තොට බංග්ලා ටයිගර්ස් ඊයේ දිනයේ සමත් වූවේය.
කැන්ඩි බෝල්ට්ස් පිල අසරණ කරමින් 9 වැනි ඕවරයේදී කඩුලු 3ක් බිඳහෙළූ දකුණත් පිට දඟ පන්දු යවන තරිඳු රත්නායක කැන්ඩි ඉනිමේ කඩුලු 4ක් උදුරා ගැනීමට සමත් විය. හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිලේ ආරම්භක පිතිකරු ඇෆ්ගනිස්තාන ජාතික මොහොමඩ් ෂාසාඩ් පන්දු 18කදී හයේ 3ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 52ක් ලබා සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල කඩුලු 6කට ලකුණු 163 (ඕවර 10) මොහොමඩ් ෂාසාඩ් 52, දසුන් ශානක නොදැවී 39, ධනංජය ලක්ෂාන් 18, ඉසුරු උදාන 11, ෂබීර් රහ්මාන් නොදැවී 13 (ඉමාඩ් වසීම් 20/1, රොන්ස්ෆෝඩ් බේටොන් 39/1, තිසර පෙරේරා 26/2, අරිනෙස්ටෝ වීෂා 16/1)
කැන්ඩි බෝල්ට්ස් පිල කඩුලු 9කට ලකුණු 116 (ඕවර 10) දිනේෂ් චනිද්මාල් 13, පැතුම් නිස්සංක 15, ෂෙහාන් ජයසූරිය 23, තිසර පෙරේරා 11, මොහොමඩ් ෂමාස් 25 (තරිඳු රත්නායක 10/4, දසුන් ශානක 16/2)
ප්‍රින්ස් ගුණසේකර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට…