Home » දරුණු සුළි කුණාටුවකින් මයෝට් දූපත් සමූහයට බරපතළ හානි

දරුණු සුළි කුණාටුවකින් මයෝට් දූපත් සමූහයට බරපතළ හානි

-මිය ගිය ගණන දහසකට ආසන්නයි

by sachintha
December 17, 2024 2:04 am 0 comment

ඉන්දියානු සාගරයේ මැඩගස්කරය සහ මොසැම්බික් රාජ්‍යයට මැදින් පිහිටි ප්‍රංශයට අයත් මයෝට් දූපත් සමූහයට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් මිය ගිය ගණන දහසකට ආසන්න විය හැකි බවට අනුමාන කර ඇතැයි ප්‍රංශ රජයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැයට කිලෝමීටර් 200ක වේගයෙන් මීට දින දෙකකට පෙර මයෝට් දූපත් සමූහයට කඩා වැදුණු එම සුළි කුණාටුව චීඩෝ නමින් හඳුන්වනු ලබන අතර, එවැනි දරුණු සුළි කුණාටුවක් මයෝට් දූපත් සමූහයකට බලපා ඇත්තේ වසර සියයකට පමණ පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නිවාස, රෝහල්, පාසල්, රජයේ ගොඩනැඟිලි ඇතුළු දේපළ විශාල ප්‍රමාණයක් ද සුළි කුණාටුවට හසුවී විනාශ වී ඇති අතර, මිය ගිය සහ අතුරුදන්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ප්‍රංශ නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා පොලිස් නිලධාරින් 1,600ක් සහ හමුදා සෙබළුන් 200ක් ඇතුළුව ආපදා මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති අතර, මළසිරුරු සොයාගන්නා තුරු මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, එය ප්‍රමාණයෙන් දහසක් පමණ විය හැකි බවත් ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර ඇතැයි වාර්තා වේ. පැරිස් නුවර සිට කිලෝමීටර් අටදහසක් පමණ දුරින් පිහිටියද ප්‍රංශයට අයත් පරිපාලන ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන මයෝට් දූපත් සමූහයේ ලියාපදිංචි නොවූ සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණ සිටින බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT