නීති විරෝධී ධීවර කටයුතු නවත්වන්න හා ධීවර ගැටලු විසඳන්න සහයෝගය ඉල්ලයි
ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට තමා ඉන්දියානු අගමැතිවරයාට සහතික වූ බවද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පැවැසීය.
එළැඹෙන වසර ගණනාව තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඉන්දියාවේ රාජ්‍ය සංචාරය අතරතුරදී ඊයේ (16) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.
එම ප්‍රකාශය මෙසේය,
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා. මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මියට සහ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.
මාගේ මෙම සංචාරය සිදු වන්නේ ප්රජාතන්ත්රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇති, දෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයක්.
මගේ ජනතාව විසින් වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්රජාතන්ත්රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.
2022 වසරේදී රට මුහුණ දුන් පෙර නොවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබාදුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මහතාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළ කළා.
කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළ, ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව අගමැති මෝදි මහතා ප්‍රකාශ කළා. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා ඔහුගෙන් ඉල්ලා සිටියා.
සුවිශේෂ ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අගමැති මෝදි මහතාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.
මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හය වැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතර, තිරසර විසඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මඟින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනා ගනිමින්, එම භාවිතය නැවැත්වීමටත් නීතිවිරෝධී, වාර්තා නොකරන ලද, නියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.
පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්රවලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කර ගනු ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අගමැති මෝදි මහතාට ආරාධනා කළා.