Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයකට ඉන්දියාවේ සුවිසල් වෙ‍ෙළඳපොළ විවර කර ගැනීමට විශේෂ අවධානය

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයකට ඉන්දියාවේ සුවිසල් වෙ‍ෙළඳපොළ විවර කර ගැනීමට විශේෂ අවධානය

කලාපීය ආරක්ෂාව-කෘෂි නවීකරණය-සංචාරක හා බලශක්ති ආයෝජන සම්බන්ධයෙන් දිගු සාකච්ඡා

by sachintha
December 17, 2024 3:50 am 0 comment

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ( Dr.S.jayashankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval) යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා හමු වූහ.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සාකච්ඡා විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇතිකිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක් විය.

මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය ඒකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්. ජයිශංකර් (Dr.S.jayashankar) මහතා මෙහිදී කියා සිටියේය. ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැහැදැක කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT