Home » රටේ පුරවැසියාගේ ආරක්‍ෂාව ප්‍රමුඛතම වගකීමයි

රටේ පුරවැසියාගේ ආරක්‍ෂාව ප්‍රමුඛතම වගකීමයි

- වැඩබලන ආරක්‍ෂක ඇමති කියයි

by chanaka
December 17, 2024 10:59 am 0 comment

රටක වස්තුව රටේ පුරවැසියන් බවත් හමුදාවක වස්තුව හමුදා පුද්ගලයන් බවත් ඒ අනුව රටේ හමුදාව ලෙස ප්‍රමුඛතම වගකීම රටේ පුරවැසියාගේ ආරක්‍ෂාව බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරය සනිටුහන් කරමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‍ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී මේ බව ප්‍රකාශ කළේය.

නව රජයක් ලෙස තැබු පළමුවන පියවර ලෙස, Clean Sri Lanka වැඩසටහන හරහා රටේ පුරවැසියන්ගේ ආකල්ප පිරිසිදු කරමින් ඒ ඔස්සේ රටේ පුරවැසියාගේ ආරක්‍ෂාව තහවුරු කරමින් රටේ ඉදිරි පරම්පරාව සඳහා යහපත් රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සම්පාදනය කර අවසන්. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම කර්තව්‍යයෙහිලා ප්‍රධානතම වගකීම උසුලන රාජ්‍ය ආයතනයයි. භට පිරිස් අමතමින් මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්මාන පෙළපාලියක් පිරිනමමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා පිළිගන්නා ලදී.

අනතුරුව, යුද හමුදාධිපති විසින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දීම සිදු කළේය.

ඉන් අනතුරුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා සහ යුද හමුදාපතිවරයා කෙටි සුහද සාකච්ඡාවක නිරත වෙමින් අදහස් හුවමාරු කර ගත්හ. මෙම සුහද හමුව අවසානයේ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡාවක් පැවැත්විණි.

වැඩසටහන් මාලාව අවසානයේමේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ යුද හමුදා මූලස්ථාන සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT