ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය සංකේතවත් කරමින් සිය 2025 දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ බත්කූරන්’ යන තේමාව යටතේ එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේය. බත්කූරන්ගේ අලංකාරය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, රට තුළ යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බත්කූරන්ගෙන් ඉටුවන වැදගත් මෙහෙවර මෙම දින දර්ශනය මඟින් මැනවින් පිළිබිඹු වේ.
‘ජලපෝෂක ප්‍රදේශවල භාරකරුවන්’ ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන බත්කූරන්, අපෘෂ්ඨවංශික සත්ත්ව විශේෂ අතර අග්‍ර විලෝපිකයන් වන අතර, එම සතුන් ජලයේ ගුණත්වය සහ පරිසර පද්ධතිවල යහපත් බව හඟවන සාක්ෂියක් ලෙස සලකනු ලබයි. එමෙන්ම පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය තුළ ද බත්කූරන්ට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙම සතුන්ගේ වර්ණවත් බව, සෙසු කෘමි සතුන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වීම, පියාසර කිරීමේ හැකියාව සහ මිනිසුන් විසින් වෙනස් කරන ලද පරිසරයන් තුළ පවා දැකගත හැකිවීම නිසා බත්කූරන් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් කෘමි සත්ත්ව විශේෂයක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවේ බත්කූරන් වර්ග 132ක් සිටින අතර ඒ අතරින් 59ක් මෙරටට ආවේණික වර්ග ලෙස සැලකේ. මේ අතරින් වර්ග 13ක සිතුවම් SLT-MOBITEL දින දර්ශනයට ඇතුළත් වී තිබෙන අතර, මෙම සතුන් රැකගැනීමේ වැදගත්කම ද එහි දක්වා ඇත. එමෙන්ම මෙහි ඇතුළත් සිතුවම්, මෙම සතුන්ගේ පරිසර විද්‍යාත්මක වැදගත්කම සහ විස්මයජනක සුන්දරත්වය මැනවින් නිරූපණය වන පරිදි අතිශය කලාත්මක ලෙස නිර්මාණය කර තිබේ.
“දිගුකාලීන දැක්මක් සහිත ජාතික සන්නාමයක් ලෙස SLT-MOBITEL, ජනතාව අතර ඩිජිටල් සන්නිවේදන සේවා හරහා සබඳතා ගොඩනැංවීමෙන් ඔබ්බට යමින් සුවිශේෂී සේවාවක් සිදු කරනවා. එමෙන්ම අපගේ වටිනා පාරිභෝගිකයන්ට, පරිසරයේ වැදගත්කම වටහා ගැනීමට අත්වැලක් වීමට අප කැපවී සිටිනවා.
බත්කූරන්ගේ අලංකාරය සහ වැදගත්කම දැක්වෙන අපගේ 2025 දින දර්ශනයේ ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාවේ උරුමයේ කොටසක් වන ජෛව විවිධත්වය වඩාත් ගැඹුරින් අගය කිරීමට ජනතාව යොමුකරවීමයි. මෙම වැඩසටහන ඔස්සේ පාරිසරික භාරකාරත්වය සම්බන්ධයෙන් SLT-MOBITEL දක්වන කැපවීමට සමගාමීව, සංරක්ෂණය හා තිරසාරත්වය පිළිබඳ කතිකාවන් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරි ප්‍රභාත් දහනායක මහතා පැවසීය.