කල්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පාලකුඩාව ප්‍රදේශයේ පෞද්ගලික ගොවිබිමක කම්කරු කාන්තාවකට එම ගොවිබිමෙහි මුරකරු පෙරේදා (16) පස්වරුවේ පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කොට පලා ගොස් ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ පාලකුඩාව පදිංචි බෝතලේගේ ක්‍රිශාලා මාරියන් බෙනීටා ප්‍රනාන්දු නම් 50 හැවිරිදි දෙදරු මවකි. ඇය ඉහත ගොවිබිමේ දෛනික කුලියට සේවය සඳහා යන බවත් එහිදී මෙම මුරකරු හා ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඔහු විසින් පිහියෙන් ඇන ඇතැයි පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.
සිදුවීම සිදු වන අවස්ථාවේ තුවාලකාරියෙගේ කථන ආබාධිත (ගොළු) මල්ලී සහ ඔහුගේ කථන ආබාධිත (ගොළු) බිරිය ද එම ස්ථානයේ කුලී වැඩෙහි නිරතව සිට ඇත.
පපුවේ ඇලයකට පිහිපාර ඇනී තිබුණු බවත්, පුත්තලම මූලික රෝහලේ දී තුවාලකාරියට සැත්කමක් සිදු කළ බවත්, දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
සැකකරු ප්‍රදේශය මඟහැර පලා ගොස් ඇති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.