ශ්‍රී ලංකාවේ අධිනීතිඥයන් සිටිය නොහැකි අතර එලෙස සිටින්නේ නම් එය ව්‍යාජ හැඳින්වීමක් බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.
පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 6500ක ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් වූ යෝජිත පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
අධිනීතිඥ කියන තනතුර භාවිතා කළ නොහැකි තනතුරක්. එංගලන්තයේ බැරිස්ටර් තනතුර හිමි මා එය ලංකාවේ භාවිතා නොකරනුයේ එය ලංකාවට අදාළ නොවන නිසායි.
මන්ත්‍රී අජිත් පී. පෙරේරා හැඳින්වූ බොහෝ අවස්ථාවල අධිනීතිඥ ලෙස හඳුන්වා ඇති අතර ඔහු එලෙස අධිනීතිඥ ලෙස හැඳින්වීමට නම් 1973 වසරට පෙර අදාළ විභාගය සිදු කර තිබිය යුතු වුවත් ඒ කාලය වන විට ඔහුට වයස අවුරුදු පහක් පමණ වෙනවා. එම විභාගයට පෙනී සිට අධිනීතිඥ තනතුර හිමිකර ගත්තේ නම් ඊට අදාළ සහතික ඉදිරිපත් කළ යුතුයි.
අලුත් දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති කරන බවට අපි ජනතාවට පොරොන්දු වුණා. ජනතා හඬට කන්දෙන ආණ්ඩුවක් නිර්මාණය කරන බවට අපි පොරොන්දු වුණා. ඒ ආකාරයෙන්ම අපි කටයුතු කරනවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජගත කිරීම් සිදු වුණා. ඉස්සර මේ පාර්ලිමේන්තුව ගැන ප්‍රශ්න කළේ කවුද එතනෝල් ගෙනාවේ, කවුද කුඩු වික්කේ කියලා. එවැනි තත්ත්වයක් යටතේ අද වන විට එම ප්‍රශ්න කිරීම් නොමැතිව අපේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කරන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ඒ ගැන අපි එක අතකින් සතුටු වෙනවා. මුහුණු පොතේ යන හැම ප්‍රශ්නයකට උත්තර දීමටත්, ඒවා දැකලා කලබල වීමේ ක්‍රමයකුත් අපි ළඟ නැහැ. තමන්ගේ දෑත්වල කිලිටි ගොඩක් තබාගෙන අනුන් වෙත ප්‍රශ්න දමමින් අත දිගු කරනවා. මට ආචාර්ය උපාධියක් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් පිරිනැමුවා. ඒ ගැන මම කාටවත් දොස් කියන්නේ නැහැ. මෙය සැලසුම්ගත ක්‍රියාදාමයක් ද යන්න දැන ගත යුතු නිසා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.