Home » මහනුවර උසස් පෙළ සිසුවියගේ මරණය මොළයට බරපතළ හානිවීමෙන්

මහනුවර උසස් පෙළ සිසුවියගේ මරණය මොළයට බරපතළ හානිවීමෙන්

මරණ පරීක්ෂණයේදී හෙළි වෙයි

by mahesh
December 18, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

බසයේ රියැදුරු අත්අඩංගුවට

ජීවිතය තණ අග රැඳී පිනි බිඳුවක් බඳුය. ඒ කියමන සත්‍යයක් බව පසක් කරමින් දිශාලා දේශානි දියණිය මෙලොව හැර ගියේ කිසිවකු නොසිතූ මොහොතකය. උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගි වීමට ඇය ගෙලිඔය පෙතියාගොඩ නි‍ෙවසේ සිට මහනුවර දක්වා පැමිණෙමින් තිබුණේ පියා සමඟය. පියා සමඟ කවදත් යතුරුපැදියෙන් ගමන් ගන්නා දිශාලාට කිසිම දිනක යතුරුපැදියෙන් යෑම සිතට බයක් නොගෙනාවේ පියා ඉතා සීරුවට ආරක්ෂාකාරීව තමන් රැගෙන යන බව දන්නා නිසාය. එදා 16 වැනි දින පෙරවරුවේ සිට මහනුවරට වැසි ඇදහැලෙමින් තිබිණි. වැස්ස පායන තෙක් මඳ වේලාවක් බලා සිටි පියා හා දියණිය පොද වැස්ස නොතකමින් ගමන ආරම්භ කළේ පෞද්ගලික පන්තියට ප්‍රමාද වී යෑමෙන් ඇතිවන ගැටලු මඟ හරවා ගන්නටය. යතුරුපැදියේ වේගය සමඟ මරුවා ද ඒ වේගයෙන්ම පසුපසින් එමින් සිටින බව පියා හා දියණිය දැන නොසිටියහ. සියල්ල සිදුවී අවසන් වීමට ගතවූයේ නිමේෂයකි. දිශාලා දේශානි තම 18 වැනි උපන් දිනයට තවත් දින 10ක් තිබිය දී සඳහටම දෙනෙත් පියා ගත්තේ පවුලේ අයගේ පමණක් නොව අනතුරු හා බැඳුණ ඡායාරූප දුටු සැමගේ සිත් කම්පා කරවමිනි.

ඉගෙනුමට දක්ෂතා දැක් වූ දිශාලා ගැටඹේ මහානාම විදුහලට පැමිණ තිබුණේ උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන්නටය. අලුත් පාසලේ ගුරුවරුන්ගේ පමණක් නොව සිසු සිසුවියන්ගේ ද ආදරය දිනාගත් ඇයට ඉතා කෙටි කාලයක දී ශිෂ්‍ය නායිකාවක ලෙස කිරුළු පලඳින්නට හැකි වූයේ උසස් පෙළ පන්ති සඳහා අලුතින් ඇතුළු වන සිසුවකුට එම වරම ලබන්නට තිබෙන සීමිත ඉඩ හමුවේය. හොඳ මල් ඉක්මනින් පරවෙන්නේ යැයි කියමනක් තිබේ. දාහත් හැවිරිදි දිශාලා වෙතින් ද මෙතරම් හොඳ ගතිගුණ ඉස්මතු වූයේ කල්තියා මෙලොව හැර යන්නට දෝයැයි ඇයට අකුරු කළ ගුරුවරු පැවසුවේ හැඬු කඳුළිනි.

යතුරු පැදිය පියාගේ පාලනයෙන් මිදී ඇද වැටෙද්දී දිශාලා එක්වරම විසිවී ගොස් මහපාරට ඇද වැටුණි. නාවලපිටිය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය ඒ මොහොතේම ඔවුන් පසුකර ගියේය. බිම වැටුණු දිශාලා බස් රථය මැදට තල්ලු වී යද්දී පසුපස රෝදයේ වෙලී සිටි මාරයා ඇගේ හිස කුඩුපට්ටම් කර දැම්මේය. සීතල පලවා හරින්නට පියාගේ උණුසුමේ දැවටී සිටි දිශාලාට සිදුවූ දේ සිතා ගැනීමට නොහැකි වූ පියා මෙය සිහිනයක් දැයි කල්පනා කළේය. එහෙත් එය සිහිනයක් නොව සැබෑවකි. මව, පියා හා එකම සහෝදරිය තනිකර දමා දිශාලා යන්න ගියාය.

මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි මත මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා මහතා මෙය රිය අනතුරක් හේතුවෙන් හිසට සහ මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළේය.

මහනුවර පොලීසියේ රථවාහන අංශය මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණය නියෝගය ලබා ගැනීමේ දී සිසුවියගේ හැඳුනුම්පතේ ඇති නම සහ නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයට ලබා දී තිබූ නම අතර වෙනස්කම් දක්නට ලැබීම නිසා අනතුර සිදුවූ දින මහනුවර ජාතික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නොහැකි වූ බවත් පසුව පොලීසිය යළිත් වරක් නිවැරදි නම අධිකරණයට ලබා දී ලබාගත් නියෝගය මත ඊයේ (17) දහවල් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවත් මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ආර්.සී. වරකාවුල්ල මහතා කීය. අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මහනුවර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝට්ටගේ මහතාගේ මෙහෙයවීම මත අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT