Tuesday, May 6, 2025
Home » ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් රටින් ගෙන්වයි
හිඟයක් නෑ:

ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් රටින් ගෙන්වයි

by mahesh
December 20, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර, ඡායාරූපය - හිරන්ත ගුණතිලක

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන වසරේ ජනවාරි මස 31 වැනි දින හෝ ඊට පෙර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයන් මඟින් වෙළෙඳපොළට සැපයීම මේ අනුව සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වේ. ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතින අතර රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙන බව ඒ මහතා කියා සිටියේය.

ඒ සඳහා පිළියමක් ලෙස සකස් කර වෙළෙඳපොළට සැපයීමට පවතින තීරුබදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT