සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද උදෑසන සිංගප්පූරුවේ ‘චැංගි’ ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදි. ඒ සමඟ සංචාරක පාරාදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා අඩුම මුදලකට සුවපහසු ගුවන් සේවාවක් ලබා දීමට Jetstar Asia කටයුතු කරනු ඇත. Jetstar Asia සතු A320 ගුවන් යානා සමූහය සමඟින් සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෑම සතියකම ගුවන් ගමන් සේවා 5ක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී කටයුතු කර ඇත. උදෑසන සහ සවස වශයෙන් ක්‍රියාත්මක ගුවන් සේවාවන්හිදී තමන් කැමති වේලාවක් තෝරා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සලසා දී ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා වෙත පහසු විකල්පයක් ද ලබා දෙමිනි.
සෑම වසරකම අවම ගුවන් ගාස්තු යටතේ ආසන 90,000ක් වෙන් කර ගැනීමේ හැකියාව සංචාරකයින් වෙත උදාකර දෙන Jetstar Asia සිංගප්පූරුවේ ජීවත්වන්නන්ට මෙන්ම කලාපය පුරා විසිරුණු සංචාරකයින්ටත්, ව්‍යාපාරික සංචාරකයින්ටත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් උදාකර දීමට මේ සමඟ කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Jetstar Asia හි ප්‍රධාන විධායක නිලධාරී John Simeone මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව, Jetstar Asia ජාලයට එක් වූ ආකර්ෂණීය එකතු කිරීමක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙසේයි.
“සුවිශේෂී සංචාරක ගමනාන්තයක් සොයමින් සිටින අපගේ පාරිභෝගිකයින් හට දර්ශනීය වෙරළ තීරයන්ගෙන්, සුන්දර දර්ශනයන්ගෙන්, පොහොසත් සංස්කෘතියකින් මෙන්ම ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය බවට පත්වනු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවට පහසුවෙන් සංචාරය කිරීමේ අවස්ථාව සලසාදෙන ගුවන් ගමන් හා අවම ගාස්තු පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර අප ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට මෙන්ම දේශීය ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම අග්නිදිග ආසියාව පුරා විසිරී සිටින සංචාරකයින් වෙත ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීම සඳහා අවම සංචාරක විකල්පයන් වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දුන් Changi ගුවන් තොටුපොළ සමූහය සහ හේලීස් ඇතුළු සියලු හවුල්කරුවන්ට මාගේ ස්තුතිය පුද කර සිටිනවා.”
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික
හේවාවසම් මහතා “ලබන වසර වන විට සංචාරකයින් මිලියන 3ක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර Jetstar විසින් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාව දක්වා ඍජු ගුවන් සේවාවන් ආරම්භ කිරීම ඒ සඳහා කදිම අවස්ථාවක් උදාකර දී තිබෙනවා. සිංගප්පූරුවෙන් ඔබ්බට යමින් ඕස්ට්‍රේලියාව හා ඈත පෙරදිග වෙළෙඳපොළ වෙත පිවිසීමට හා පහසු මිලට සංචාරක සේවාවන් සලසා ගැනීම සඳහා වන ඉල්ලුම ඉහළ යාමටද මෙය හේතුවක් වනු ඇතැයි මම සිතනවා” යනුවෙන් පැවසීය.