Home » ජනපති සහන මල්ල සහ රටේ හෙට දවස

ජනපති සහන මල්ල සහ රටේ හෙට දවස

by mahesh
December 20, 2024 1:00 am 0 comment

අසිරිමත් නත්තල උදා වීමට ඇත්තේ තවත් හරියටම දින පහකි.

නත්තල උදා වෙද්දී අපට සිහිපත් වන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා නත්තලට තෑගි බෙදා දෙනවා යැයි කුඩා දරුවන් අතර විශ්වාසයක් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ස්වකීය ඉන්දීය සංචාරයෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් සිය සහන මල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළේය. එය එළඹෙන 2025 වසරේ රට ගමන් ගන්නා දිශාව පිළිබඳ කිසියම් ආකාරයක පුරෝකථනයකි. ඇතැම් ඉංග්‍රීසි මාධ්‍ය එය වාර්තා කර තිබුණේ ‘ජනපතිගේ නත්තල් තෑගි’ (President’s Christmas Bonanza) යනුවෙනි.

කොරෝනා අර්බුදය, ඉන් අනතුරුව මුහුණ දුන් බරපතළ ආර්ථික බිඳවැටීම, ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර ණය ගෙවීමට කල් ඉල්ලා සිටීම, දේශීය සහ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය යනාදි වූ අර්බුද රැසක් හමුවේ මේ සහන පැකේජයේ වටිනාකම කියවා ගැනීම වැදගත්ය.

මෙතෙක් කලක් බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කරනු ලැබුවේ ජනතාවට බදු පිට බදු පනවා, දඩ පිට දඩ ගසා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමය. මේ නිසාම රටේ නිෂ්පාදන ආර්ථිකය බින්දුවට වට්ටවා තිබිණි. දේශීය කෘෂිකර්මාන්තය, සුළු අපනයන භෝග වගාව, කර්මාන්ත ක්ෂේත්‍රය යනාදි සියලු ක්ෂේත්‍රවලින් ලැබුණු ආදායම පහළ වට්ටවා තිබූ අතර, ජාතික ආර්ථිකයෙන් විශාල පංගුවක් ජාවාරම්කාරයන් අතට පත්ව තිබිණි.

බහුතර ජනතාවට ගැටලුවක්ව තිබූ උපයන විට බදු ගෙවීමේ සීමාව ඉහළ නංවන බව ජනපතිවරයාගේ සහන පැකේජයේ සඳහන් විය. ඒ අනුව ලක්ෂ එකහමාරකට වඩා අඩු වැටුප් ලබන අය ආදායම් බද්දෙන් නිදහස් කොට තිබිණි. එහි සංකල්පීය අර්ථය වූයේ ‘වැඩි ආදායම් ලබන අයට අඩු සහන හා අඩු ආදායම් ලබන අයට වැඩි සහන’ යන්නයි.

වසර පහකට වඩා වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන ගෙන්වීම පිළිබඳ සීමා ඉවත් කිරීම ද, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රුපියල් හයදහසක දීමනාවක් පිරිනැමීම ද ඇතුළු සහන රැසක් මේ පැකේජයට අන්තර්ගත විය.

බිඳවැටෙමින් තිබූ, අර්බුදයට ලක්ව තිබූ රටක් මේ මට්ටමින්, මෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම අගය කළ යුත්තකි. රට මෙවැනි අර්බුදකාරි තත්ත්වයකට පත් වූයේ දූෂිත බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ නිලධාරි පෙළැන්තියේ අදූරදර්ශි ක්‍රියාකාරකම් හේතුවෙනි.

රට එවන් අර්බුදයක පවතිද්දී හිටපු පාර්ලිමේන්තු මැති-ඇමැතිවරුන් ජනාධිපති අරමුදලේ සල්ලි රුපියල් ලක්ෂ ගණනින් අවභාවිත කොට ඇති බවක් ද පසුගියදා වාර්තා විය. රට අර්බුදවලට මුහුණ දෙද්දී හිටපු පාලකයන් කීවේ ජනතාවට පටි තද කරගන්නා ලෙසයි.

රටේ නිෂ්පාදන ආර්ථිකය තවමත් නිසි ලෙස ගොඩනැඟී නොතිබුණ ද, පොදු ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රවේශය අගය කළ යුතුය.

සුබසාධන ආර්ථිකයකින් පමණක් රට ගොඩනැඟිය නොහැකි වුවද, සංවර්ධනය වෙමින් පවතින රටක් සුබසාධන ආර්ථිකයකින් තොරව පවත්වාගෙන යාමද කළ නොහැකිය.

මේ නිසා මෙකී සහන පැකේජය කා-බී නිදන්නට පමණක් ජනතාවට දුන් එකක් නොවන බව ද ජනතාව තේරුම් ගත යුතුය. එකී සමාජමය බුද්ධිය ඔවුන් සතුව ඇතැයි අපි අපේක්ෂා කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT