Home » හරි දෙයක් කළොත් ඉල්ලුම තියෙනවා

හරි දෙයක් කළොත් ඉල්ලුම තියෙනවා

ආචාර්ය චන්න විජේවර්ධන

by mahesh
December 20, 2024 1:00 am 0 comment

ශ්‍යාමා සමරසිංහ

ඔහුගේ ජීවන රිද්මය වනාහි අන් කිසිවක්ම නොව නර්තනයම වන්නේය. ඔහුගේ අතීතය හා වර්තමානයද නර්තනයමය. එසේම අනාගතය වන්නේද අන් කිසිවක්ම නොව නර්තනයම වග සක් සුදක් සේ පැහැදිලිය. මේ වනවිට ඔහු විසින් නිර්මාණය කොට ඇති නර්තන නිර්මාණ හයදහසකට අධිකය. බොහෝ නර්තන නිර්මාණ සදහා ඔහු භාවිත කරන්නේ විවිධ සංස්කෘතික ලක්ෂණයන්ය. එසේම එකම නර්තන නිර්මාණය තුළ එක් එක් නර්තන කුමවේදයන් ඒ ආකාරයෙන් ම එක් කොට ඉදිරිපත් කිරීමක් දක්නට ලැබෙයි. එයින් ලැබෙන විචිත්‍රත්වයෙන් ප්‍රේක්ෂක මනදොළ ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. මේ අසහාය නර්තන ශිල්පියා සේම, නර්තන ආචාර්යවරයා අන් කිසිවෙකු නොවේ. ඔහු ආචාර්ය චන්න විජේවර්ධනයි. ‘සඳකඩ’ ඔහුගේ පළමු හා නවතම මුද්‍රා සිනමා සිත්තමයි. ඔහු සමග කළ මේ කතා බහ මෙසේ ගෙන හැර දක්වමු.

ඔබ ‘සඳකඩ’ කරන්නේ ඇයි ?

‘සඳකඩ’ කියන්නේ පණීභාරත සර්ගෙ ඔළුවේ තිබුණු දෙයක්. ඒක එයාගේ හීනයක්. ඒ වගේම එයා තිර පිටපත් කිහිපයකුත් ලියා තිබුණා. මම ඒවා සියල්ලම කියෙව්වා. ඊට පස්සේ මුළුමනින්ම වෙනස්ව අලුත් කතාවක් හැදුවා. කතාවක් කිව්වට මුද්‍රා නාට්‍යයක් වෙන්නත් ඕනේ. වාර්තා චිත්‍රපටයක් වගේ කරන්නත් බෑ. ඒවගේම අද ඉන්න ප්‍රේක්ෂකයන් වෙනස්. ඒ වෙනස් ප්‍රේක්ෂකයන්ට ගැළපෙන ආකාරයට සම්පූර්ණයෙන්ම හැදුවා. ඒවගේම මම මේක නිර්මාණය කළේ ඒ මොහොතේදී. අතීතය කියන්නේ අපි දැකපු දෙයක්. අනාගතය ගැන හිතුවොත්, ඒක ඒ වෙලාවේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අපි හිතන දෙයක්නේ. ඒ නිසා ඒ මොහොතේ මට දැනෙන දේ මත තමයි මම ÒසඳකඩÓ නිර්මාණය කළේ. ඒ වගේම ඒ ඒ චලන නිර්මාණය කළේ ඒ ඒ චරිතවල අයගේ චලනවලින්. ඒ හැම කෙනාටම ආවේණික වූ චලන විධි තියෙනවා. ඒවා හරිහැටි හඳුනා ගෙනයි මම මේක කළේ. අසේකා, රසුනි, දිදුල, මේ ඔක්කොගේම චරිතවල එළියට එන සිතුවිල්ල උඩයි මේ නිර්මාණය කළේ. ඒ නිසයි මේක කාටවත් කොපි කරන්නත් බැරි. ගායක ගායිකාවන් ගත්තත් ඒ අයට විශේෂ වූ අන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි නර්තනයේ යෙදෙන අයටත් විශේෂ වූ අනන්‍යතාවයක් තියෙනවා.

මම සම්ප්‍රදායික ශෛලියකින් හරි, මගේම නිර්මාණයකින් හරි යමක් දෙන්න ගියොත් ඒගොල්ලොන්ගේ චලනය නෙවෙයි එන්නේ. මේකේ ප්‍රධානම හේතුව තමයි තමන් තමන්ව හොයාගන්න එක. එහෙම තමන් තමන්ව හොයා ගත්තට පස්සේ නිදහසේ එයාලට දැනෙන චරිත එනවා. එහෙම තමයි මේක නිර්මාණය කළේ. හැබැයි මේ හැඟීම ගන්න නම් මේ අය සෑම නර්තන අංගයක්ම ප්‍රගුණ කරලා තියෙන්න ඕනෑ. ඒනිසා පුහුණුව ඉතා වැදගත්. අනිත් කාරණය මේ ළමයින්ගේ මුළු ජීවිතයම නර්තනයයි. නර්තනයෙන් පිට කිසිම දෙයක් ඒ අයට නෑ. මම ඒකට එයාලට ගරු කරනවා. ඒ වගේම මේක ඉදිරියට දියත් කරන්නේ උපුලියි.

ඔබේ මේ සිනමාත්මක මුද්‍රා නාට්‍යය ‘සඳකඩ’ යනුවෙන් නම් කළේ ඇයි ?

එය රැගෙන ආවේ පණීභාරත කියන නමින්. සඳකඩ කියන්නේ ජීවන චක්‍රයටයි. මේක සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවන චක්‍රයක්. ඒ වගේම මේක ප්‍රගුණ වෙන්න තව හේතුවක් තමයි, රංග දසනායකගේ සංගීතය. ඒ වගේම මීට තවත් හේතු ගණනාවක් තියෙනවා. ළමයින්ගේ දක්ෂතාවය, ශරීරයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, කොණ්ඩා මෝස්තර යනාදී බාහිර වෙනස්කම්. ඇත්තෙන්ම අපට මේකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මම විශ්වාස කරනවා, සිනමා ශාලාවල මෙය දුවයි කියලා. අද විශේෂයෙන්ම තියෙන්නේ වැරදි රැලි. ඒ නිසා මේක ඒකට වෙනස් කමක් වෙයි කියලා විශ්වාස කරනවා.

මෙයට ඉලක්ක ප්‍රේක්ෂකයන් කවුද ?

ඕනෑම ප්‍රේක්ෂකයෙක්. මම යමක් නිර්මාණය කළාට පසුව එයට මිනිස්සු කරන්නෙ ඉස්සෙල්ලාම බනින එකයි. ඊට පස්සේ සුමාන දෙකක් විතර ගියාම, ඔක්කොමලාම මේක කොපි කරනවා. එහෙම බැණලා මාව සාර්ථකයි කියලා පෙන්නුම් කරන්නේ කොපි කරලයි. මාව අනුකරණය කරලයි. ඒකෙන් මම දන්නවා මම සාර්ථකයි කියලා. මේකෙත් ඒක වෙනවා. අපට දැනටමත් විදෙස් රටවල ඉල්ලුමක් තියෙනවා. කැනඩාවෙන් ඉල්ලා තියෙනවා. ඒ වගේම මාර්තු මස එංගලන්තයට යනවා. ඕනෑම හරි දෙයක් කළොත් ඉල්ලුම තියෙනවා. බොරු කළොත් ඉල්ලුමක් නෑ. බොරු කළොත් අහුවෙනවා.

මෙහි හොඳ සිනමාරූපී බවක් තියෙනවා. ඒක ඉස්මතු වූයේ කොහෙන්ද ?

විශ්ව බාලසූරිය හින්දයි. විශ්ව කියන්නේ වෙස්බැඳපු නර්තන ශිල්පියෙක්. එයා දන්නවා සංස්කරණය කරන්න. කස්තිරමක්, අඩව්වක් යනකොට එයා දන්නවා සංස්කරණය කළ යුතු විදිහ. ඒවගේම ආලෝකකරණය කරන්නේ චානක. එයත් බොහෝ කලක් සිට අප සමඟ කටයුතු කරන අයෙක්. අතක් චලනය කරන කොට එයා දන්නවා ඊළඟට යන්නේ මොකක්ද කියලා.

මේ මුද්‍රා නාට්‍යයේ කතා වස්තුව කුමක්ද ?

එක් කුඩා ගැහැනු ළමයෙක් කොළඹ හැදෙනවා. එයා නර්තනයට ඉතාම ලැදි අයෙක්. අම්මත් නර්තනයට ඉතාම ළැදි අයෙක්. අම්මගේ පවුල් ප්‍රශ්නයක් නිසා එයාට නර්තනය නියැළෙන්නට සිද්ධ වෙන්නේ නෑ. නමුත් දරුවට මුද්‍රා නාට්‍යය පෙන්වනවා. දවසක් මුද්‍රා නාට්‍යයක් බැලුවට පස්සේ ළමයා වේදිකාවට දුවනවා. ඊට පස්සේ එයා හොයාගන්න බැරි වෙනවා. එයා නැටුම් ගමට ගිහින්. අම්මා එයා හොයාගෙන යනවා. ආපහු ගෙදර යන්න බෑ කියනවා. එයා නැටුම් ගමේ හැදෙනවා. වැඩිහිටි වෙලා, ගුරුවරියගේ පිරිමි දරුවෙක් සමඟ එයාගේ සම්බන්ධයක් ඇති වෙනවා. විවාහ වෙනවා. පසුව දරුඵල නැති ප්‍රශ්නයක් ඇති වෙනවා.

සැමියා යනවා. සැමියා ඇයගේ හවඩියත් අරන් ගිහින් තියෙන්නේ. ඇය ඔහු හොයාගෙන යනවා. ඒ යන ගමන අතරමඟ සඳකඩ පහණ පහු කරනවා. එහෙම ගිහින් නගරයට එනවා. නගරය අච්චාරුවක්. කිසිම සංවර කමක් නෑ. ඒවා දැකලා මෙයා ජීවිතය මොකක්ද කියලා තේරුම් ගන්නවා. එයා එයාවම හොයාගන්නෙ එතැනදීයි. ඊට පස්සේ එයා සොයාගත් නියම මඟ හරහා ආගම පැත්තට නැඹුරු වෙනවා.

මේ නිර්මාණයට සම්බන්ධ වන කණ්ඩායම කවුද ?

මේකේ ඉන්නේ සම්පූර්ණයෙන්ම චන්න උපුලී රංගායතනයේ ළමයි. අපි එක කණ්ඩායමක් එක පවුලක් වගෙයි. අපේ මුළු කණ්ඩායම 125ක් පමණ මේ නිර්මාණයේ ඉන්නවා. කාලය පැයයි විනාඩි විස්සයි.

ඔබ මේ නිර්මාණය හරහා දෙන පණිවිඩය කුමක්ද ?

තමන් කවුද කියලා හොයාගෙන යන්න. අනුන් කිව්ව පලියට කිසිම දෙයක් කරන්න එපා. තමන් තමන්ව හොයා ගත්තාම, තමන්ටම ආවේණික වූ දේ එළියට එනවා. මේක නර්තනය පමණක් නෙවෙයි ඕනෑම විෂයකට අදාළයි.

ඡායාරූප නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT