Home » ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි පෙත්සමක්
ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ 

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි පෙත්සමක්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් වූ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හෙරත් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර සිටිති.

ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බව පෙත්සමෙහි සඳහන් වේ.

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බව පෙත්සමෙහි දැක්වෙයි.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.

එලෙස අදාළ අවස්ථාව වන විට රජයේ සේවයේ නිරතව සිටීම පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සහ මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසුකමක් බව පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් දැනට ඇමැතිවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කරන ක්වො වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT