යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් ඉහළ පහළ යෑමේ හැකියාව තිබෙන බව සමගි ජන බලවේගයේ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවැසීය.
“ගොවි ජනතාවගේ ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, ආහාර සැපයීමේදී ඇති වන ප්‍රශ්න ආදිය පිළිබඳව කතා කළ ප්‍රධාන කණ්ඩායමක් තමයි වර්තමාන ආණ්ඩුව හොබවන ජාතික ජන බලවේග කණ්ඩායම. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව සහ සහන මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දීම සම්බන්ධයෙන් තමයි ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවලත් වැඩිපුර කතා කළේ. නමුත් ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ රටේ ප්‍රධාන සහල් මෝල් හිමියන්ගේ අවශ්‍යතාව මත බව පසුගියදා අපට දකින්න ලැබුණා. යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් උච්චාවචනය වෙන්න හැකියාව තිබෙනවා.
නමුත් රට තුළ විශාල සහල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 75ත් 80ත් අතර මිලකට. මෙලෙස ගන්න වී කිලෝවකින් සහල් නිෂ්පාදනය කළ හැක්කේ සියයට 65ක් වගේ ප්‍රමාණයක්. ග්‍රෑම් 650ත් 750ත් අතර ප්‍රමාණයක්. ඒ අනුව වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 80ට නම් සහල් කිලෝවක් හදන්න වී කිලෝ 1.5ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව හාල් කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 120ක් පමණ වැය වෙනවා. සහල් කිලෝවක් නිෂ්පාදනය කරල වෙළෙඳපොළට නිකුත් කරන්න රුපියල් 170ත් 180ත් අතර ප්‍රමාණයක් ගත වෙනවා. ඒ අනුව සියයට 35ක 40ක වගේ ප්‍රමාණයක දළ ලාභයක් සහල් ව්‍යාපාරය හරහා ගන්න හැකියාව තිබෙනවා. නමුත් මෙවැනි දළ ලාභයක් ව්‍යාපාරිකයන්ට ගන්න නොහැකියි. ඒත් සහල් ව්‍යාපාරය තුළ මෙය සිදු වෙනවා. සහල් කිලෝව වෙළෙඳපොළේ විකිණෙන්නේ රුපියල් 230ක් වගේ මුදලකට. සිල්ලර වෙළෙන්දාට සහල් කිලෝවකින් රුපියල් 5ක ලාභයක් තිබුණාට රුපියල් 170ත් 180ත් අතර අධික ලාභයක් සමඟ නිෂ්පාදනය කළ සහල් වෙළෙඳපොළට දාන්නේ රුපියල් 215ට 220ට. වෙළෙඳපොළේ රුපියල් 215ට 220ට අලෙවි වෙන්නේ රුපියල් 160ත් 170ත් අතර මුදලකට නිෂ්පාදනය වෙන සහල්.
ඒ වගේම සහල් පිළිබඳ මිල ගණන් තීරණය කරන්නේ ප්‍රධාන සහල් මෝල් හිමියන්. ඔවුන් අධික ලාභයක් ලබමින් සහල් කිලෝවක් විකුණන්න හැකියාව තිබෙන්නේ රුපියල් 230කට බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සහල් කිලෝවක් රුපියල් 120ක් වගේ මුදලකට නිෂ්පාදනය වෙලා, සියයට 40ක් වගේ ලාභයකුත් තියාගෙන තමයි ජනතාවට සහල් කිලෝවක් රුපියල් 230ක් වගේ මුදලකට දෙන්නේ. සහල් කිලෝවකින් මහා පරිමාණ වී මෝල් හිමියන් සියයට 60ක පමණ ලාභයක් ගන්නවා. වී රුපියල් 88ට ගොවීන්ගෙන් මිලදී ගන්න රාජ්‍ය බැංකුවලින් වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දෙනවා. අඩු මිලට ණය ගෙන එයින් අඩු මිලට සහල් ගෙන අවම පිරිවැයකින් සහල් ගෙන අධික ලාභයක් ගෙන ඒ සහල් වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයාට සහල් කිලෝවක් දෙන්න පුළුවන් වෙන්නේ රුපියල් 230ට කියලා ආණ්ඩුවට කියනවා. මේ මාෆියාව කඩන්න පැමිණි ආණ්ඩුවක් සහ මේ මාෆියාව කඩන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයෙක් තමයි සහල් හිමිකරුවන් ඉදිරියේ අසරණවී තිබෙන්නේ. මේ සහල් මාෆියාවට හමුනොවන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ධන කුවේරයන්ට හැකියාව තිබෙනවා ඔවුන්ගේ ක්ෂේත්රයට වාසි ගෙනදෙන දේශපාලන කඳවුරුවලට සහාය දී ඔවුන්ට අවශ්‍ය පරිදි ව්‍යාපාර හසුරුවා ගන්න.”