කල්ලිය, ගල්අමුණ ප්‍රදේශයේ දී – ඇල් ඔයේ මාළුන් විශාල වශයෙන් මිය යෑමට හේතු වී ඇත්තේ කිනම් කාරණයක් දැයි අනාවරණය කර ගැනීමට රාජ්‍ය ආයතන කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
දින කිහිපයක සිට විශාල වශයෙන් මාළු මිය යන බව ප්‍රදේශවාසීන් දැක ඇත. මිය යන මාළුන් අතර පෙතියන්, අංකුට්ටන්, මගුරන්, කොරලියා වැනි මාළුන් වේ. අවට යායේ කුඹුරු වගා කරන ගොවීන් මේ සම්බන්ධව වගකිවයුතු අංශ දැනුම්වත් කිරීමෙන් පසුව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්, පල්ලේවෙල පොලීසිය, ගම්පහ මධ්‍යම පරිසර අධිකාරිය, නාරා ආයතනය ආදී ආයතනවලින් පැමිණ ජල සාම්පල් රැගෙන ගිය අතර ඔවුන් මේ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් සැපයීමට නියමිතය.
ජලයේ මතුපිට කිසියම් තෙල් වැනි තත්ත්වයක් නිරීක්ෂණය වන බව ද ප්‍රදේශවාසීන් පවසයි.
කිසියම් කර්මාන්ත ශාලාවකින් හෝ කිසියම් පුද්ගලයෙකු විසින් යම්කිසි විස රසායනිකයක් මිශ්‍ර කිරීම නිසා මෙලෙස මාළුන් මිය යන්නට ඇති බවට ප්‍රදේශවාසීහු සැක කරති.
දී – ඇල්ලේ ඔයෙන් ලබා ගන්නා ජලය කුඹුරුවලට යෑමට නොදී එම ඇළ මාර්ග වසා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ගොවි සංවිධාන කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.