“තේ දලු ටික නෙළාගෙන, වත්තේ පිටියේ වැඩ කරගෙන, මම වැඩට ගියාට පසු දරුවන් රැකබලා ගත් මගේ දයාබර බිරිය අද අංශභාග රෝගියෙක්. කොරෝනා එන්නත ගත් පසු ඇති වුණු මේ තත්ත්වය නිසා මමත් දරුවො දෙන්නත් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකට…” යැයි මාතර පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් ආර්.එස්. ජයවර්ධන මහතා සිය රෝගි බිරිය ගැන අප හා පැවසුවේ කඳුළු පිරි දෑසින් යුතුවය.
ශ්‍රී ලංකා පොලීසියට බැඳී වසර18ක් සේවය කරමින් සිටින ජයවර්ධන මහතා මාකඳුර ප්‍රදේශයේ දිවි ගෙවයි. ඔහුට දියණියක් සහ පුතකු සිටින අතර දියණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 6 ශ්‍රේණියේද, පුතු මාකඳුර ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේද ඉගෙනුම ලබමින් සිටිති.
අද වන විට රෝගිව එක්තැන්ව සිටින බිරියගේ හා දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු සිදු කිරීමත් ආහාර සැකසීම ඇතුළු නිවෙසේ කටයුතු සිදු කිරීමත් පැවරී ඇත්තේ ජයවර්ධන මහතාටය.
ඉරේෂා මධුරංගි (32) නම් ජයවර්ධනගේ බිරියට 2021 වසරේ අප්‍රේල් මස කොරෝනා එන්නත විඳීමෙන් පසු අතෙහි එන්නත විදින ලද ස්ථානය අවට කළුපැහැ ගැන්වී ඇති අතර, පසුව අතේ තැනින් තැන ආසාදන තත්ත්වයක් ඇති වූවා සේ රතු ලප ඇති වූ බව ජයවර්ධන පවසයි. ඉන් පසු දත්වල විදුරුමස් අතරින් ලේ වහනය වන්නට පටන් ගෙන තිබේ. දෙසැම්බර් මස 6 දින වන විට අසනීප තත්ත්වය වැඩි වූයෙන් වෛද්‍යවරයකුට පෙන්නා රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු රුධිරයේ පට්ටිකා ප්‍රමාණය දැඩි සේ පහත වැටී ඇති බැව් පෙනී ගොස් ඇති බැවින් වහා රෝහල්ගත කරන ලෙස ලද උපදෙස් මත කඹුරුපිටිය ආඳාපාන මූලික රෝහලටත්, එතැනින් මාතර මහ රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර කර තිබේ. එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ යම් බෙහෙතක් විෂ වීමෙන් මේ තත්ත්වය ඇති වී ඇති බවයි.
දින දෙකක් තුළ සිදු කරන ලද ප්‍රතිකාරවලින් අනතුරුව රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000ක් දක්වා වැඩි වුවද ඒ අතර සිරුරේ එක් අංශයක් සම්පූර්ණයෙන් පණ නැති වී ගොස් ඇතැයි ජයවර්ධන මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ රුධිර පීඩනය වැඩි වී මොළයේ නහරයක් පුපුරා ගොස් ඇති බව ද ජයවර්ධන මහතා කියයි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරන අතර, හිස්කබල ගලවා අවස්ථා දෙකකදී ශල්‍යකර්ම දෙකක් සිදු කළද සුවයක් ලබාගැනීමට නොහැකි වූ බව ජයවර්ධන පැවසුවේය.
ඔහු පවසන්නේ දෙවැනි ශල්‍යකර්මයෙන් පසු බිරියගේ හිස් කබලේ කොටසක් ඉවත් කොට හම පමණක් ඉතිරිව ඇති බවයි. මේ වන විට ඇය නිවෙසේ රෝද පුටුවක් මතට කොටු වී සිටින බැවින් රැකියාව කරමින් දරුවන් හා බිරිය රැකබලාගැනීම සිදු කරන්නේ මහත් පීඩාකාරි තත්ත්වයක් යටතේ බවයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පොලීසියේ උසස් නිලධාරීන් ඔහුට රාජකාරි කරන සෑම දිනකම පස්වරු දෙකේ සිට රාත්‍රී දහය දක්වා සේවා මුරයක යෙදීමට අවස්ථාව සලසා දී ඇති අතර, ජයවර්ධන ඉල්ලා සිටින්නේ තමා පත්ව සිටින මේ අසරණ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා බිරිය සුව කර දීම හෝ කුමන හෝ අයුරකින් සහනයක් සලසා දෙන ලෙසයි.