Tuesday, May 13, 2025
Home » සිරුර නාවා කාමරේට දමා සැමියා අලි බොරුවක් ගොතලා
සතුන්ට ඇද්ද විදුලි කම්බියට බිරිය බිලි

සිරුර නාවා කාමරේට දමා සැමියා අලි බොරුවක් ගොතලා

by mahesh
December 20, 2024 1:00 am 0 comment

කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා

සතුන්ට ඇටවූ අනාරක්ෂිත විදුලි රැහැනකට හසු වී 45 හැවිරිදි දෙදරු මවක මරුමුවට පත් වීමෙන් පසු, ඇයගේ සිරුර නහවා තුවායක් අන්දවා මරණයට හේතුව වසන් කිරීමට උත්සාහ ගත්තේ බවට සැකපිට මියගිය කතගේ සැමියා අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය කියයි. විදුලිසර වැදුණු හේතුව වසන් කිරීම සඳහා මියගිය කාන්තාවගේ සිරුරට තෙත ඇඳුමක්ද අන්දවා, සිරුර නිවෙසේ කාමරයකට ගෙනැවිත් දමා තිබුණු බවට පොලිස් පරීක්ෂණලදී හෙළි වූ බව පොලීසිය පවසයි. එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයේදී සැකකාර සැමියා අසත්‍ය සාක්ෂි දුන් බවද හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.

මේ කරුණු අනාවරණය වූයේ ඉකුත් 17 දා පස්වරුවේ විදුලිසර වැදීමකින් මියගොස් තිබුණු කහවත්ත, ජයතුංග යටාගර ප්‍රදේශයේ පදිංචි ජී.ඒ. සෙනරත් චන්ද්‍රලතා නම් දෙදරු මවකගේ කහවත්ත මූලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදීය.

කහවත්ත මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ආර්.එස්. ගොඩගේ මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය පැවත්වීය.

එහිදී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ සැමියා ප්‍රකාශ කර තිබුණේ දිය නාගෙන නිවෙස තුළට පැමිණි තම බිරිය මහා හයියෙන් කෑගසන හඬ ඇසී තමා දුව ගොස් ඒ ගැන බැලූ බවයි. “ඒ අවස්ථාවේ මම හිටියේ ගෙදර ඉඩමේ. බිරිය බිම වැටී සිටියා. මට කෑගැසුණා. මම පුතාටත් බිරියගේ මල්ලීටත් කතා කළා. පසුව අසල්වාසීන්ද ආවා” යනුවෙන් ඔහු සාක්ෂි දී තිබිණි.

මියගිය කාන්තාවගේ විසි හැවිරිදි පුතාද සාක්ෂි දෙමින් පවසා තිබුණේ තාත්තා කෑගසන හඬට ගොස් බලද්දී අම්මා බිම වැටී සිටි බවයි. දිය නාගෙන පැමිණි කාන්තාව රෙද්දක් ගසද්දී එය කාමරයේ විදුලි බල්බයකට සවි කර තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසර වැදී ඇතැයි එම පියා සහ පුතු අසත්‍ය සාක්ෂියක් දී ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා පසුව අනාවරණය කරගත්තේය. මරණය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයේදී මියගිය කාන්තාවට විදුලිසර වැදී ඇති ආකාරය ගැන මරණ පරීක්ෂකවරයාට සැක මතු වූ නිසා කාන්තාවගේ සැමියා, පුතා සහ සහෝදරයකු කහවත්ත මූලික රෝහලට නැවත කැඳවනු ලැබීය. රෙද්දක් ගසද්දී ඒ රෙද්ද විදුලි රැහැනක පැටලුණි නම් මියගිය කාන්තාවගේ අතකට විදුලිසර වැදිය යුතු බවත්, එහෙත් විදුලිසර වැදී ඇත්තේ ඇයගේ පාදයකට බවත්, එමෙන්ම රෙද්දක් ගසද්දී විදුලිසරක් ශරීරගත වූයේ නම් එය මරණයක් සිදු වීමට තරම් ප්‍රබල වනුයේ කෙසේද යන්න සැක සහිත බවත් හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT