“කඩදාසි නගරය” කියූ විට සිතට නැඟෙන්නේ වෙරළේ ඉදිකළ වැලි මාලිගාවක් පිළිබඳ හැඟීමකි. එහෙත් මෙවැන්නක් නොව කලෙක රටටම අවැසි කඩදාසි අවශ්‍යතාව පිරිමැසූ නගරයක් පිළිබඳ කතාවකි. මෙරට කර්මාන්ත පිළිබඳව අතීතයේ ඉගෙන ගත් අයට “වාලච්චේන” කඩදාසි කර්මාන්ත ශාලාව අලුත් දෙයක් නොවේ. රටටම කඩදාසි දෙමින් ඒ කර්මාන්ත ශාලාවේ ලාභයෙන් ඇඹිලිපිටියේ නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට සමත් ලාභයක් ලත් ඒ කර්මාන්ත ශාලාවේ කතාව මෙරට ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කළ හැකි හරස්කඩකි.
වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ වුණු හැටි
බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා පැවැත්වූ පළමු මැතිවරණය 1947 පැවැත්වූ අතර මෙරට ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරන්නේ ඊට දශක කීපයකට පෙරයි. ගොවි ජනපද ආරම්භ කිරීමට රට පුරා ඈත ගම්දනව් වෙත ගිය ඩී.එස්. සේනානායක මහතා කාර්මික සංවර්ධනයට සුදුසු ප්‍රදේශ පිළිබඳව ද අවධානය යොමුකර තිබිණි. ඒ අනුව 1947 බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්වුණේ ජෝර්ජ් ඊ. ද සිල්වායි. නමුත් 1948 වසරේ දී ඔහුගේ අමාත්‍ය ධුරය ජී.ජී. පොන්නම්බලම්ට හිමිවුණා. ඉන්පසුව අඛණ්ඩව එම අමාත්‍ය ධුරය දැරූ ජී.ජී. පොන්නම්බලම් 1951 වසරේ වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබුවා. ඩී.එස්. සේනානායක මහතා අසුපිටින් වැටී මියයෑමෙන් අනතුරුව අගමැති බවට පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ කර්මාන්ත ඇමැති වූවේත් ජී.ජී. පොන්නම්බලම් මහතාමයි. ඒ ආණ්ඩුව කෙටි කලෙකින් ගෙදර යාමට සිදුවූයේ 1953 වසරේ සිදුකළ හර්තාලය නිසායි. පසුව අගමැති බවට පත්වුණේ ජෝන් කොතලාවලයි. නමුත් ඒ ආණ්ඩුවත් ජී.ජී. පොන්නම්බලම්ගේ අමාත්‍ය ධුරය වෙනස් කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට කර්මාන්ත දියුණු කිරීම සඳහා කළ මෙහෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඔහු සමත් වුණා. වසර පහක් පුරා සිදුවූ අඛණ්ඩ ඉදිකිරීම් ක්‍රියාවලියකින් අනතුරුව 1956 වසර ආරම්භ වන විට වාලච්චේන කඩදාසි කම්හලේ ඉදිකිරීම් අවසන් කෙරුණා. “නැඟෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලය” නමින් නම් කළ එම ආයතනය මෙම ස්ථානයේ පිහිටුවීමට මූලිකම හේතුව ලෙස ජී.ජී. පොන්නම්බලම් මහතා පවසා තිබුණේ එම පළාතේ ධීවර කර්මාන්තයෙන් සහ කෘෂි කර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවට රැකියා අවස්ථා පුළුල් කරමින් විදෙස් විනිමය ඉතිරි කිරීම සඳහා තුඩුදෙන කර්මාන්තයක් ඇරඹීමයි.
කඩදාසි කම්හල ක්‍රියාත්මක වුණු ආකාරය
සහල් නැළිය ලෙස සලකන නැඟෙනහිර පළාතෙන් පිදුරු සොයා ගැනීම අරුමයක් නොවේ. මෙකල කඩදාසි සෑදීම සඳහා භාවිත කළ මූලික අමුද්‍රව්‍යය පිදුරුයි. ඒ සඳහා අවශ්‍ය වුණු පිදුරු අක්කරෙයිපත්තු, ඔලුවිල්, සමන්තුරේ, ඔට්ටමාවඩි, අම්පාර, තොප්පිගල වැනි ප්‍රදේශවල පිහිටුවා තිබුණු පිදුරු එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් සපයාගනු ලැබුවා. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා බලය සපයා ගත්තේ පර්නස් තෙල් දහනයෙනි. මේ සඳහා අවශ්‍ය පර්නස් තෙල් ආනයනය කර සපයා ඇති අතර කොළඹ වරායේ සිට වාලච්චේන දක්වා පර්නස් තෙල් ප්‍රවාහනය සිදුවූයේ කොළඹ කොටුවේ සිට මඩකලපුවට ගමන් ගන්නා දුම්රිය හරහායි. කඩදාසි නගරය නමින් වාලච්චේනෙහි පිහිටි දුම්රිය නැවතුම්පොළ හරහා කර්මාන්ත ශාලාව තුළටම ගමන් කළ හැකි ලෙස දුම්රිය මඟ සැකසී ඇති අතර කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත කඩදාසි කොළඹට පටවා ඇත්තේ ද දුම්රියෙනි.
කම්හලට අවැසි ජලය ලබා ගැනීම සඳහාම වැවක් ඉදිකර තිබී ඇත.
එකල අක්කර 525ක බිමකට හිමිකම් කී කඩදාසි සමාගමෙහි ගොඩනැඟිලි සංකීර්ණය අක්කර සියයක් පුරා පැතිරී පැවතිනි. කලෙක සේවකයින් 3000ක් පමණ සේවය කර ඇති ඒ ආයතනය අද ගරාවැටුණු සොම්බි නගරයක් මෙනි. වාලච්චේන කඩදාසි කම්හල් භූමිය තුළ යන්ත්රාගාර දෙකක්, විද්‍යාගාරයක්, වැඩබිමක්, ගබඩා සංකීර්ණයක්, කාර්යාල කිහිපයක් සහ සේවක නිවාස සංකීර්ණයක් ද පිහිටා තිබූ බවට තොරතුරු හමුවුවත් විවෘත ආර්ථිකයේ මහා ප්රවාහයෙන් ඒ සියල්ල පැරණි නගරයක මතක සේයා ගොන්නකට එක්වී තිබේ.
1990 – 1993 කාලසීමාව මෙම කම්හලේ ස්වර්ණමය යුගය ලෙසින් සටහන් වී තිබේ. එසේම 1993 වසරේදී ඵලදායිතා සම්මානය වාලච්චේන කඩදාසි කම්හලට හිමිවී තිබුණි.
1994 වසරේ ඉන්දීය රජය සමඟ අත්සන් කළ වෙළෙඳ ගිවිසුමෙන් අනතුරුව ආනයනික කඩදාසි සඳහා බද්ද 5% දක්වා අඩු කරනු ලැබුවා. 1977 විවෘත ආර්ථිකය නිසා කර්මාන්ත ශාලාව බිඳවැටීම ආරම්භ වූයේ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමක් නිසායි. එසේම නවීකරණය වෙන තාක්ෂණයට අනුව වෙනස් වීමටද කාර්මික ක්ෂේත්රයේ මූලික නියමයක්. එසේ නොවන කර්මාන්තයක් පමණක් නොව කුමන ආයතනයක් වුව ක්‍රමයෙන් විනාශයට පත්වෙයි. ආනයනික කඩදාසි දේශීය වෙෙළඳපොළෙහි වඩාත් ජනප්‍රිය වුණා. ජර්මනියෙන් ලබාදුන් කර්මාන්ත ශාලාව කාලීනව නවීකරණය නොවීමත් මේ වනවිට ගැටලුවක් බවට පත්වී තිබුණා. ආනයනික කඩදාසි සමඟ තරග කිරීම සඳහා කඩදාසි කර්මාන්ත ශාලා නවීකරණය විය යුතුව තිබුණා.
2020 වසරේ ජනවාරි මාසයේ දී වාලච්චේන කඩදාසි සමාගම යළිත් වරක් ආරම්භ කිරීමට පියවර ගත්තා. අඳුරෙහි ගිලී පැවති ඒ අගාධය තුළින් කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීම සැබෑම අභියෝගයක් වුණා. ආනයනික ප්‍රමිතියෙන් යුතු කඩදාසි සමඟ තරග කළ හැකි කඩදාසි නිපදවීම මෙන්ම පැරණි යන්ත්රසූත්ර නවීකරණය කරමින් කාර්යක්ෂම නිෂ්පාදනයක් කිරීමත් ගැටලුවක් වී තිබුණා. නමුත් මේ වනවිට පැරණි යන්ත්‍රවලට පණදෙමින් ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරමින් කඩදාසි නිපදවීම සඳහා පියවර ගෙන තිබේ. මළ නගරයක් බඳු කඩදාසි නගරය යළි පණ දීමට වත්මන් ආණ්ඩුවට ඇත්තේ සුවිශේෂී වගකීමකි.