ලංකා ඉතිහාසයේ අවුරුදු හැත්තෑ හයක දේශපාලන සාපයක් ගැන ඇතැමුන් කතා කළත් ගෙවුණු 76 වසරක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මේ රටට නොලැබුණු දේට වඩා ලැබුණු දේ අතිවිශාල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා ප්‍රකාශ කරයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“ජනාධිපතිවරයා සිය ඉන්දියානු සංචාරය අතරතුර එට්කා ගිවිසුම සම්බන්ධයෙන් දුන් එකඟතා සම්බන්ධයෙන් රටේ ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුයි. ජනාධිපතිවරයා බලයට පැමිණි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගෙන තිබෙනවා. විශේෂයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දවස්වල කියැවෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල වගේම, මාධ්‍යවලත් ප්‍රධාන තැනක් හිමි වෙලා තිබෙනවා. මේ රටේ මහින්ද රාජපක්ෂ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දුටුගැමුණු මහ රජතුමාට පසු මේ රටේ ජනතාවගේ සහ රටේ ආරක්ෂාව තහවුරු කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. අනුර කුමාර දිසානායක මහතා හැංගිලා ඉද්දී එතුමන්ලාගේ ජීවිත බේරගත් නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. මහින්ද රාජපක්ෂ මහතා වෙන නායකයෙක්ට සමාන කළ නොහැකියි. දෙමළ ඩයස්පෝරාවට, විදේශීය කුමන්ත්‍රණවලට මුහුණදී රට ආරක්ෂා කළ නායකයා. ඒ නිසා එතුමාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් යම්කිසි වගකීමක් ගත යුතුයි.
ගොවි ජනතාව මේ රජය බලයට ගේන්න විශාල කාර්යභාරයක් කළා. නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා විදිහට අද මොකක්ද කරන්නේ? ඉස්සර ගහකට කඳ පණුවෙක් ගැහුවත් නාමල් කරුණාරත්න මහතා ගිහින් එතැන ඉන්නවා. නමුත් අද ගොවි ජනතාවට පොහොර සහනාධාරයට අවශ්‍ය මුදල්වත් ලැබෙන්නේ නෑ.
අවුරුදු හැත්තෑ හයක දේශපාලන සාපය තුළ මේ රටට නොලැබුණු දේට වඩා ලැබුණු දේ වැඩියි. අනුර කුමාර දිසානායක මහතා ඔතන සිටින්නේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට පින්සිද්ධ වෙන්න. කන්නන්ගර මහතා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා. ඒ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධවෙන්න අපි අද මේ තැන්වලට ඇවිත් තියෙනවා. අද කන්නන්ගර මහතාත් හොරෙක් බවට පත්කරලා. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ රටේ මිනිසුන්ට සම්පූර්ණ නිදහස දුන් නායිකාව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන් පෞද්ගලික ඉඩම් අක්කර තුන්දාහක් රජයට පවරා තිබෙනවා. එතකොට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියත් හොරුද? මේවා නිවැරදි විය යුතු කාරණා. මිනිස්සු මේවා පිළිගෙන අවුරුදු 76ක දේශපාලන සාපයට විරුද්ධව තමා මේ පිරිස බලයට ගෙනාවේ. ඔවුන්ට වගකීමක් තිබෙනවා මේ ජනතාවට වූ පොරොන්දු ඉෂ්ට කරන්න. ඒ දෙස අපි බලාගෙන ඉන්නවා.”