අයිසීසී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලදී සතියකට පසු යළිත් පෙරළියක් කරමින් පෙරමුණ ගැනීමට එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් සමත් විය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙරේදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ සිටි එංගලන්ත පිතිකරු හැරී බෲක් දෙවැනි තැනට දමමින් යළිත් වරක් ජෝ රූට් පෙරමුණ ගෙන තිබේ. නවසීලන්තයට එරෙහිව පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දැක්වූ දස්කම් මත මේ වෙනස්වීම සිදුව තිබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු අඩුවී ඇති අතර, 897ක් ලබාසිටි රූට් 895ක් ලැබී තිබේ. ශ්‍රේණිගත ලකුණු 898ක් සමඟ පසුගිය සතියේ පෙරමුණ ගත් බෘෘක්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 876කි.
එංගලන්තයේ බෙන් ඩකට් 12 වැනි ස්ථානයේ සිට ස්ථාන 6ක් පහළ වැටීම නිසා ක්‍රීඩකයන් 6 එක් පියවරක් බැගින් ඉහළට ගිය අතර, ඒ අනුව දිනේෂ් චන්දිමාල් 14 සහ ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානවලට පත්වූහ. පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා වන කමිඳු මෙන්ඩිස් 6 වැනි ස්ථානයේම රැඳී සිටියි.
ටෙස්ට් පන්දු යවන්නන් අතර මුල් ස්ථාන 6 නොවෙනස්ව තිබියදී නවසීලන්තයේ මැට් හෙන්රි (7) ස්ථාන 2ක් ඉහළට ගොස් ඇති අතර, ඒ සමඟ ප්‍රභාත් ජයසූරිය (9) එක් ස්ථානයක් පහත වැටී තිබේ.
මේ අතර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලේ අකීල් හොසේන් පළමු ස්ථානයට පත්ව සිටියි. ඔහු ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇති අතර, ඒ සමඟ අංක එකේ සිටි අදිල් රෂීඩ් සහ දෙවැනි තැන සිටි වනිඳු හසරංග පියවරක් බැගින් පහත බැස තිබේ. මහීෂ් තීක්ෂණ 5 වැනි තැනම සිටියි.