Thursday, May 8, 2025
Home » පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ

පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ

by chanaka
December 21, 2024 8:21 am 0 comment

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කරගැනීම සඳහා බදු යන්ත්‍රණය පුළුල් කිරීම එම බද්ද ඉහළ දැමීමේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, බැංකු පොලියෙන් පමණක් ජීවත් වන පුද්ගලයන්ට හා විශ්‍රාමිකයන්ට එම බද්දට ඇතුළත් නොවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් තම ආදායම් තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බව ද සඳහන් කළේය.

එම ඉල්ලීම් පිළිබඳ සලකා බැලීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවැසීය.

මේ අතර උපයන විට බදු පැනවීමේ සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දහස දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ අනුව උපයන විට බදු පැනවීමේ 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් ලක්ෂ එක හමාරක වැටුපක් ගන්නා අ‍ෙයකු සියයට සියයක් බදු නිදහස් බවද පැවැසීය. ලක්ෂ දෙකක වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද 71% කින් නිදහස් වන අතර, ලක්ෂ දෙකමාරක් වැටුපක් ගන්නා කෙනකුගේ බද්ද 61%කින් ද, ලක්ෂ තුනක් වැටුපක් ගන්නා කෙනකුගේ බද්ද 47%කින් මෙන්ම ලක්ෂ තුනහමාරක වැටුපක් ලබන අයගේ බද්ද 25.5%කින් නිදහස් කළ බව ද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, බැංකු නිලධාරින් ඇතුළු වෘත්තියවේදීන් අතර උපයන විට බදු සම්බන්ධයෙන් විශාල කනස්සල්ලක් තිබූ බැවින් වැඩි ආදායම් ලබන අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබන අයට වැඩි සහනයකුත් හිමිවන පරිදි මෙම බද්ද සංශෝධනය කර ගැනීමට සමත් වූ බව ද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පසුගිය රජය ඇතිකරගෙන තිබූ එකඟතාවලට ජනතාවට සහන සැලසෙන පරිදි යම් යම් සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් ඉකුත් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT