Home » මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ වැඩ හොදයිලු – බ්‍රිතාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක්

මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ වැඩ හොදයිලු – බ්‍රිතාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක්

by chanaka
December 21, 2024 8:28 am 0 comment

බලයට පත්ව කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව නීරීක්ෂණය වන බවයි. මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී ය. එහි දී පාර්ශ්ව දෙක අතර සුහද ව කරුණු සාකච්ඡා කෙරිණි.

ආචාර්ය සූරියප්පෙරුම මහතා පවතින ආර්ථික තත්ත්වය සහ ඉදිරි කටයුතු මහ කොමසාරිස්වරයා හමුවේ පැහැදිලි කළේ ය.

මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය දීමට සූදානම් බව පැවසූ මහකොමසාරිස්වරයා කියා සිටියේ ලබන වසරේ මුල් කාලයේ දී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපාරිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කිරීමට සූදානම් බවයි. මෙරට කාබනික කෘෂිභෝග අපනයනය සඳහා එරට වෙළෙඳපොළ තුළ ඉහළ ශක්‍යතාවක් පවතින බවත්, ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවාන්‍ය නිෂ්පාදන වැනි විවිධ නිෂ්පාදන සඳහා එරට වෙළෙඳපොළ තුළ ඉඩක් පවතින බවත් පැට්‍රික් මහතා එහි දී වැඩි දුරටත් සඳහන් කළේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හිමි වන බවත් ඒ තුළින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ලැබෙන බවත් ඔහු පැවසීය.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ මහකොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළේ ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT