කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී Gevorg Sargsyan මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (20 ) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී පසුගිය දශක 4 තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්තවල වර්ධනයට බාධාවක් වූ ව්‍යුහාත්මක අභියෝග පිළිබඳව අවධානය යොමු කළ අතර ජාතික ඒකාබද්ධ කාර්මික සැලැස්මක් නොමැතිවීම, කර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා වන ප්‍රවේශයන් සීමිත වීම, කාර්මික වර්ධනය සඳහා ඇති දුර්වල ආයතනික ක්‍රියාකාරීත්වය, දේශීය කර්මාන්ත ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රපාතන විරෝධී (Anti- dumping) ප්‍රතිපත්ති නොමැතිකම සහ තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යවන පුහුණු ශ්‍රම බලකාය ප්‍රමාණවත් නොවීම යන කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එමෙන්ම, මෑත කාලීන බදු ප්‍රතිපත්ති වෙනස්වීම්වල අහිතකර බලපෑම් සහ අක්‍රීය ණය හේතුවෙන් උද්ගතවී ඇති අභියෝග වැනි ගැටලු පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා Gevorg Sargsyan මහතා ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කළ අතර කාර්මික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සතුව ඇති උපායමාර්ගික දැක්ම හා නව රජයේ කෙටි කාලීන ඉලක්ක පිළිබඳවත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය පිළිබඳවද චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
මෙහිදී Gevorg Sargsyan මහතා ප්‍රමුඛ ලෝක බැංකු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ සහාය ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ අතර ව්‍යාපාර සූදානම් දර්ශකය (B-READY), පර්යේෂණ සඳහා තාක්ෂණික සහාය ලබාදීම සහ රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදී. තවද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනයන් සඳහා මේ වන විට ලංකාවට ලබාදීමට පොරොන්දු වී ඇති අරමුදල්වලට අමතරව ඔවුන්ගේ විශේෂඥ සහය ලබාදීමටද ලෝක බැංකු නියෝජිත පිරිස මෙහිදී එකඟ විය.
මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ග්‍රෙගරි ස්මිත්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරි වික්ටර් ඇන්තනිපිල්ලේ, ආර්ථික විද්‍යාඥ අමිලා දහනායක, නියෝජ්‍ය අමාත්‍ය පුද්ගලික ලේකම් යසස් හේවගේ, සම්බන්ධීකරණ ලේකම් මෙලනි ඔගස්ටින් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.