ඉන්දියාව විසින් ගුවනින් හෙළූ ආහාර හා ඖෂධ ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 25ක් බව ඇන්.ජේ. ඩික්සිත්ගේ “එසයිමන්ට් ඔෆ් කලම්බු”කෘතියේ දැක්වෙයි. කෙසේ වෙතත් මේ සිදුවීමේදී එවක පාලකයා කියා සිටියේ ඉන්දියාවට එරෙහිව මෙම ප්‍රශ්නය එක්සත් ජාතීන් හමුවට ගෙන යන බවයි. එවිට ඉන්දියාවේ ප්‍රතිචාරය වූයේ ‘එහෙදි අහන ඒවට උත්තර දෙන්නත් සූදානම් වෙලාම යන්න’යන අර්ථයේ ප්‍රකාශයකි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විවේචනය කරන්නන් අයත් වන්නේ වර්ග දෙකකට ය. පළමු කොටස වන්නේ දශක 7කට ආසන්න කාලයක් මේ රට විනාශය කරා ගෙන ගිය මජර දේශපාලනය නිමා කරමින් පොදුජන යුගයකට රට අවතීර්ණවී ඇති බව පිළිගන්නා නමුත් සුළු සුළු අඩුපාඩු නිවැරදි කරගත හැකි යැයි විශ්වාස කරන අයයි. එහෙත් මෙකී පළමුවැනි වර්ගය ඉතා සුළු පිරිසකි. දෙවැනි වර්ගයට අයත් වන්නේ ‘කළත් වැරදියි නොකළත් වැරදියි’,‘කොහොම කළත් වැරදියි’ වර්ගයේ දෙපිටිකාට්ටුවන්ය. හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් ඉතා බහුතර මෙම කොටස තුළ නියෝජනය වන වැඩි පිරිසක් වන්නේ පැරණි වමේ දේශපාලනය තුළ හෝ සෘජුවම ජවිපෙ දේශපාලනය සමඟ යම් සම්බන්ධතාවක් පැවති පිරිසය. බොහෝවිට මේ පිරිසට ඇත්තේ පැරණි ඇරියස් එකකි.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් පැමිණියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා බිඳ වැටී නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වන බවට කොරහෙත් කිඹුලන් දුටු මෙම පිරිස එකී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ණය ප්‍රතිව්‍යුහතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පසු කියන්නේ ආණ්ඩුවට අලුත් වැඩපිළිවෙළක් නැති බවය. සීයාගේ ආර්ථික වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යන බවය. මේ අයුරින්ම ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් කලාපයේ බලවතා වන ඉන්දියාව සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටෙනු ඇති බවටත්, ලොකු අයියා තරහ කරගනිමින් යා හැකි ගමනක් නැති බවටත් නාහෙන් අඬන්නට විය. එහෙත් ඉකුත් සතියේ සිදුවූ ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයත්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකා රජය කෙරෙහි දක්වන සුවිශේෂී සහයත් ඇස්පනා පිට පෙනෙනවිට කියන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ගොදුරක් බවට පත්කිරීමේ සූදානමක් පවතින බවයි.
ඉන්දීය සාමසාධක හමුදාව
එහෙත් එකී අභූත චෝදනා මඟින් වුවද, කලාපයේ බලවතා ලෙස භූ දේශපාලන සිතියම තුළ තීරණාත්මක භූමිකාව වන ලෝක දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වීමේ ඉඟි පළකරන ඉන්දියාව සමඟ අප ගනුදෙනු කළ යුත්තේ මන්ද, එහි සීමාවන් මොනවාද යන්න පිළිබඳ යම් කතිකාවක් ඇතිවීම අප සාධනීයව භාරගත යුතුය.
80 දශකයේ අග භාගයේදී ඉන්දීය සාමසාධක හමුදාවන් ලංකාවෙන් පිටමං කරවා, එවක පාලකයන් විසින් දැඩි ඉන්දීය විරෝධයක් රට තුළ නිර්මාණය කරමින්, උතුරු-නැඟෙනහිරට දැවැන්ත යුදමය මැදිහත්වීමක් කරන අවස්ථාවේදී ඉන්දීය ගුවන්යානා දේශසීමා උල්ලංඝනය කරමින් උතුරට හාල්, පරිප්පු වැනි වියළි ආහාර ද්‍රව්‍යයත්, ඖෂධත් ගුවනින් දැමීමේ සිද්ධිය දෙස ආපසු හැරී බැලිය යුතුය. එලෙස ඉන්දියාව විසින් ගුවනින් හෙළූ ආහාර හා ඖෂධ ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 25ක් බව ඇන්.ජේ. ඩික්සිත්ගේ “එසයිමන්ට් ඔෆ් කලම්බු”කෘතියේ දැක්වෙයි. කෙසේ වෙතත් මේ සිදුවීමේදී එවක පාලකයා කියා සිටියේ ඉන්දියාවට එරෙහිව මෙම ප්‍රශ්නය එක්සත් ජාතීන් හමුවට ගෙන යන බවයි. එවිට ඉන්දියාවේ ප්‍රතිචාරය වූයේ ‘එහෙදි අහන ඒවට උත්තර දෙන්නත් සූදානම්වෙලාම යන්න’යන අර්ථයේ ප්‍රකාශයකි.
තමන්ගේ රටට පෞද්ගලිකවත්, කලාපයේ ආරක්ෂාවට පොදුවේත් බලපාන කරුණු තවදුරටත් රටක අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් නොවන බැව් එදා ඉන්දියාව පැහැදිලිව පෙන්වාදී තිබිණි. ඒ දශක 4ටත් එහා ඉතිහාසය තුළය. එහෙත් අද වන විට ශ්‍රී ලංකාව පවතින්නේ එදා හිටපු තැනටත් පහළ අඩියක ය.
ඊට සාපේක්ෂව අද ඉන්දියාව සිටින්නේ ලෝක බලවතුන් සමඟ කරට කර තරග කරන තැනකය. එදා ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කරට අත දාගන්නට කිසිදු ලෝක බලවතකු ඉදිරිපත් නොවී ය. එදා ඉදිරිපත් නොවුණු ලෝක බලවතුන් කිසිවකුත් අද ඉදිරිපත්වේ යැයි හීනෙකුදු හිතන්නට හැකියාවක් නැත්තේ ඉන්දියාව පිම්මේ තව තවත් බලවත් වී ඇති නිසාය. අද අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය හෝ ලෝකයේ වෙනත් ඕනෑම රටක ප්‍රධාන නගරයක ඉන්දියානු සමාගමක්, ඉන්දියානු ජාතිකයකු ඇස නොගැටී සිටින්නට කිසිවකුටත් හැකියාවක් නොමැති තැනකට ලෝකය වෙනස්වී තිබේ.
දෙවන විශාලතම ආර්ථිකය
මෙවර භාරතීය ජනතා පක්ෂය අඛණ්ඩව බලයට පත්වූයේ තෙවැනි වරටත්, නරේන්ද්‍ර මෝදි ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ අගමැතිවරයා බවට පත්කරමිනි. එකී ජනවරම හුදු අහිංසක ක්‍රියාවක් නොව ඔහුගේ වැඩපිළිවෙළට දුන් තල්ලුවකි. ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයන් අතරට ගෙන ඒමට මෝදි විසින් කරමින් සිටින කාර්යභාරය සුළුකොට තැකිය නොහැකි බව එයින් ගම්‍ය වේ.
ඉන්දීය කොංග්‍රසයේ වැටීම හෝ නැඟිටීම, ඉන්දීය ජාතික ව්‍යාපාරය, ඉන්දියාවේ දුගීභාවය, ඉන්දියාවේ කලාපීය භූ දේශපාලනය වැනි දේ පුළුල්ව සාකච්ඡාවට ලක්විය යුතු කාරණා වුවද, සැකෙවින් කිවයුතු කාරණා කිහිපයක් ද තිබේ. ඒ මෑත ඉතිහාසය තුළ ඉන්දියාව කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩිජිටල් තාක්ෂණය, පරිගණක හා අන්තර් ජාල සේවා සැපයීම් වෙළෙඳපොළේ තීරණාත්මක භූමිකාවක් අත්පත් කරගනිමින් සිටීමයි.
2075 වර්ෂය වන විට ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි Goldman Sachs මූල්‍ය වෙබ් අඩවිය අනාවැකි පළ කරයි. FTහි මාටින් වුල්ෆ් යෝජනා කරන්නේ 2050 වන විට, එහි මිලදී ගැනීමේ හැකියාව එක්සත් ජනපදයට වඩා 30% ක් විශාල වනු ඇති බවයි. වසරකට iPhone මිලියන 20ක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මකය. එමඟින් පමණක් නව රැකියා 50,000ක් නිර්මාණය වනු ඇතැයි අනුමාන කෙරෙයි. මීට අමතරව, අභ්‍යවකාශ දියත් කිරීම් සඳහා භාවිත තාක්‍ෂණය සම්බන්ධ සත්කාරක රටක් ලෙස ඉන්දියාව කෙරෙහි චීනයට වඩා වැඩි විශ්වාසයක් පවතියි. 2020 වසරේ සිට ඉන්දියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ දියත් කිරීම් 111කට සත්කාරකත්වය ලබා දී තිබීමත් ඊට හේතුවකි. AI හි සම්ප්‍රාප්තිය වුවද ඉන්දියාවට අති නවීන ක්ෂේත්‍රයන්හි නායකත්වය ගැනීමට අවස්ථාවකි. ඉන්දියාවේ රාජ්‍ය යන්ත්‍රණය නවීනත්වය කරා ගෙන යාම ද මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන ව්‍යාපෘතියකි.
ඉන්දියාවේ නිෂ්පාදන හෝ සේවාවල අඩු මිල සමඟ බොහෝ රටවලට තරග කිරීම පහසුවක් නොවන අතර ඖෂධ වැනි දෑ ඊට නිදසුන්ය. අනෙක් අතට ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය Wagon R වන අතර, එහි මිල ඩොලර් 7,000 කි. ජපානයේ Suzuki සමාගම විසින් නිෂ්පාදනය කළද එහි ඉන්දියාවේ වෙෙළඳපොළ කොටස 41% ක් බැව් අමතක නොකළ යුතුය. බොහෝ ජාත්‍යන්තර නිෂ්පාදන ඉන්දියාවේදී දේශීයකරණය වෙමින් පවතියි. McDonald’sවල විකල්ප නිර්මාංශ ආහාර ආදිය මගින් ඉන්දියානු මහා වෙළෙඳපොළ ආමන්ත්‍රණය කෙරී ඇත. Coca Cola හෝ වෙනත් බහු ජාතික සමාගම්වල ප්‍රචාරණයන් ඉන්දීය සන්දර්භයක් යටතේ නිර්මාණය කෙරෙන්නේ ද මේ නිසාය.
ඉන්දීය භූමිකාව
ඉන්දියාව ලෝකයේ තුන්වැනි විශාලතම බලශක්ති පරිභෝජන රට වන අතර දැනට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් ලෝකයේ 4 වැනි ස්ථානයේ සිටියි. ලොව විශාලතම ඉංග්‍රීසි කතා කරන STEM (Science, Technology, Engineering, and Mathematics) උපාධිධාරී සංචිතය හිමි වන්නේ ද ඉන්දියාවටයි. ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන බලවතෙකි. පසුගියදා පාත්ෆයින්ඩර් ආයතනය විසින් ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ‘තාක්ෂණ අධ්‍යාපනය සිතියම්ගත කිරීම’ පිළිබඳ පැවති සාකච්ඡාවකදී ද, තාක්ෂණික දැනුම සමඟ ගනුදෙනු කිරීමත්, එය ප්‍රවර්ධනය කිරීමත් පිළිබඳ ඉන්දීය භූමිකාව අවධාරණය විය.
කොළඹත්, යාපනයත් කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී තාක්ෂණික දැනුම ලබාදීමට උසස් අධ්‍යාපන ආයතන දෙකක් ස්ථාපිත කිරීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙන ලදි. ඩිජිටල් තාක්ෂණය හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා වන එකඟතාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ ද, ඉකුත් සතියේම ය.
ඉන්දියාව ලෝක දේශපාලනයට සෘජුව හා වක්‍රව දක්වන දායකත්වය ද, මෙහිලා අප විසින් අමතක නොකළ යුතු ය. ඉන්දියානු මූලයක් සහිත අය, ලොව රාජ්‍ය නායකයන් ලෙස කටයුතු කළා සේම තවදුරටත් කටයුතු කරමින් සිටිති. රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අගමැතිවීමත්, කමලා හැරිස් අමෙරිකාවේ උප ජනාධිපති ධුරය දැරූ අතරම ඉකුත් ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකාව ද වූ බව අමතක නොකළ යුතුය.
චීන සංචාරය
ලෝකයේ බලවත් රටවල් ඇතුළුව රාජ්‍ය පාලනයේ කැබිනට් මණ්ඩල නියෝජනය කරමින් 60-70 ක පමණ පිරිසක් ඉන්දීය ජාතිකයන් සිටින බව පිළිගන්නට සිදුවේ. ඉන්දියානු ඩයස්පෝරාව ද මේ වන විට පෙර නොවූ විරූ ආකාරයෙන් බලගතු ව්‍යාපාරයකි. ව්‍යාපාරික ලෝකයේ සමාගම්වල පමණක් ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන විධායක නිලධාරීහු 25 දෙනෙක් පමණ සේවය කරමින් සිටිති. Micron Technology හි Sanjay Mehrotra (CEO), Google සමාගමේ Sundar Pichai (CEO), World Bank Group හි සභාපති Ajay Banga යනාදීන් ඊට නිදසුන්ය. ලොව බොහෝ සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඉන්දියානුවන් වීමෙන් ඉන්දියාව සමඟ ගෝලීය සම්බන්ධතාව ගොඩනැඟෙන අතර එය ඉන්දියාවේ ඉදිරි ගමනට තවත් වාසියකි.
එහෙව් ඉන්දියාවක් අතහැර, නොතකා හැර ඉන්දීය මිදුලේ කොනක පුංචි ගල්පරයක් වන් ශ්‍රී ලංකාවට පැවැත්මක් ඇති ද, යන්න දේශපාලන සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකු වටහා ගන්නවා ඇත. එහෙත් මෙහි ඇඟවුම ඉන්දියාව විසින් ගසනා ඕනෑම බෙර පදයකට ශ්‍රී ලංකාව නැටිය යුතු යැයි නොවේ. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද තරම දැනගෙන, අපගේ ස්වෛරීත්වය රැකෙන පරිදි රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතු බවය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු එළඹෙනු ඇත්තේ චීන සංචාරයයි. ඇතැම්විට ඊට පෙරාතුව හෝ ඉන් පසු ඒ ආසන්නයේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ය. ලෝක බල දේශපාලන සිතියම සංකීර්ණය. කිසිවකු අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ. රාජපක්ෂ යුගයේ පැවතියේ පවුල් දේශපාලනයකි. රටක් යනු පවුල් සමාගමක් නොවන බැව් අප එකල අවධාරණය කළ බැව් සිහිපත් කළ යුතුය.
වත්මන් පාලනය යනු වමේ මූලයකින් යුතු ජවිපෙ ගාමක බලවේගය වූ ආණ්ඩු පක්ෂයක පාලනයකි. රටක් යනු පක්ෂයක් ද නොවේ. ‘රටක් යනු පක්ෂයක පමණකැයි’ සිතා පැරණි සටන්පාඨ සිහිකැඳවමින්, පැරණි ඇරියස් කවර් කර ගැනීමට උත්සාහ දරන, මූලාරම්භයේදී සඳහන් කළ ‘කෝකත් වැරදියි’ දෙපිටකාට්ටුවන්ගේ වාගාලාප, අඳෝනාවන් අදාළ නැත. නිවැරැදි තීන්දු හා ක්‍රියාමාර්ග නිවැරැදි දිශානතියකට අප ගෙනයනවා ඇත.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර