Home » මීගොඩ වෙඩිතැබීමේ සිද්ධිය : තවත් තිදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ වෙඩිතැබීමේ සිද්ධිය : තවත් තිදෙනෙක් අත්අඩංගුවට

by chanaka
December 23, 2024 9:16 am 0 comment

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුගිය 14 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) පස්වරුවේ හෝමාගම හා මීගොඩ පොලිස් වසම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22,26 හා 38 යන වයස්වල පසුවන පාදුක්ක හා මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වැනිදා මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුවෙකු හා එයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් අනුව ලැබුණු තොරතුරු මත ඊයේ මෙම අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවේ.

මොවුන්ගෙන් එක් අයෙකු මෙම අපරාධය සිදුකිරීමට වෙඩික්කරු සමග පැමිණි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT