නැව්වලට ඉන්ධන සපයන ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව – JCT Oil Bank)හි පවතින තෙල් ටැංකි ඉල්ලුමට අනුව සේවා සැපයීමට ප්‍රමාණවත් නොවන හෙයින් යෝජිත තෙල් ටැංකි ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයක් කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය.
එම ශක්‍යතා අධ්‍යයන වාර්තාව කඩිනමින් තමන්ට දෙන ලෙස ද සභාපති උපුල් පනාවැන්නගේ මහතාට නියෝජ්‍ය ඇමැතිවරයා උපදෙස් දුන්නේය.
ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා (19) ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව – JCT Oil Bank)හි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
වරාය පරිශ්‍රයට පැමිණෙන නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම සිදුකරන්නේ ජය කන්ටේනර් ටර්මිනල් හරහායි.
මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ටැංකි වෙත තෙල් සැපයීම හා නැව් වෙත නැවත තෙල් ලබා දෙන නළ පද්ධතිය ඇරඹෙන දකුණු ජැටිය ද නිරීක්ෂණය කළේය.
නිරීක්ෂණ චාරිකාව අවසානයේ ආයතනයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරතවුණු නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ අතීතයේ දී මේ ආයතනය විවිධ දේශපාලකයන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට යොදාගත්ත ද දීර්ඝකාලීන රාජ්‍ය ප්‍රතිපත්තියක් සමඟ රජය ක්‍රියාත්මක වන හෙයින් අනාගතයේදී එවැන්නක් සිදු නොවන බවයි. එසේම සේවකයන්ට හිමි වර්ෂ අවසාන ප්‍රසාද දීමනාව (Bonus) ලබාදීමට පියවර ගන්නා බව ද එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
රන්මලී සෝමසිරි