Home » වෙල්ලාලගේ කැපුණේ අමතර වේගපන්දු යවන්නකු ගත් නිසයි

වෙල්ලාලගේ කැපුණේ අමතර වේගපන්දු යවන්නකු ගත් නිසයි

-නායක චරිත් අසලංක

by sachintha
December 23, 2024 2:34 am 0 comment

දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නවසීලන්තය බලා ගිය ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූයේ නවසීලන්තයේ තණතීරුවලට අනුගත වීම උදෙසා අමතර වේගපන්දු යවන්නකුගේ අවශ්‍යතාවක් හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පැවසීය. එය නායකයා ලෙස තමාටත්, තේරීම් කමිටුවට හා පුහුණුකරුට ගැනීමට සිදුවූ අමාරු තීරණයක් බවද අසලංක සඳහන් කළේය.

තරග තුනකින් සමන්විත විස්සයි20 සහ එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක චරිත් අසලංක ඒ බව සඳහන් කළේය.

“නවසීලන්තයේ තණතිලිවලට අවශ්‍ය විදිහට අමතර වේගපන්දු යවන්නකු සංචිතයට ඇතුළත් කිරීමට අපට අවශ්‍ය වූ නිසා දුනිත්ව ඉවත් කළා. එය අපිට අමාරු තීරණයක් වුණා. නවසීලන්තය වැනි රටවල තණතීරුවල ක්‍රීඩා කරන විට එවැනි තීරණ අපට ගන්න වෙනවා” යනුවෙන් අසලංක පැවසීය.

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 28, 30 හා ජනවාරි 2 වැනි දින පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වේ.

“ක්‍රීඩකයෝ හොඳ මානසිකත්වයකින් ඉන්නවා. ටී10 තරගාවලියේ ක්‍රීඩා කරලා ක්‍රීඩකයන් ලකුණු අතරත්, කඩුලු අතරත් සිටිනවා. ඒක කණ්ඩායමට හොඳ සූදානමක් වුණා. නමුත් පුහුණුවීම් පටන් ගන්න‌ වෙන්නේ නවසීලන්තයට ගිය පසුවයි. එහි තත්ත්වයන්ට ඉක්මනින් හුරුවී හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න අපි සැලසුම් කරනවා” චරිත් අසලංක පැවසීය.

“නවසීලන්තය ඔවුන්ගේ රටේදී ශක්තිමත් කණ්ඩායමක්. අඩුපාඩු හා වැරදි අවම කරගෙන ක්‍රීඩා කරන්න අපි බලනවා. ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපගේ පළපුරුදු ක්‍රීඩකයන්ගේ අත්දැකීම් නවක ක්‍රීඩකයන්ට ලබාදී හොද මඟ පෙන්වීමක් කරන්න මේ සංචාරයේදී හැකියාව තියෙනවා” අසලංක සඳහන් කළේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT