Wednesday, May 7, 2025
Home » ලොව දිනන ගමනට කාබනික පිළියමක්

ලොව දිනන ගමනට කාබනික පිළියමක්

by sachintha
December 24, 2024 1:14 am 0 comment

වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීම යනු වර්තමානය වන විට මහත් අසීරු කාර්යයක් වී තිබේ. ගෙවත්තේ වවා ගන්නා එළවළුවක්, කොළ මැල්ලුමක්, පලතුරක් හැරුණුකොට වෙළෙඳපොළේ වස විස නැති අලුත් එළවළු පලතුරු නමින් කොතෙකුත් දෑ තිබුණද ඒවා සියයට සියයක් වස විස නැති ඒවාදැයි අපට විශ්වාස කළ නොහැකිය. ඊට ප්‍රධාන හේතුව වර්තමානය වන විට අප ආහාරයට ගන්නා මිරිස් තුනපහ, හාල්, එළවළු, පලතුරු ටික පමණක් නොව, මස්, මාළු, කිරි, බිත්තර යනාදී සෑම කෑම වර්ගයක්ම කුමක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක්, වර්ණකයක්, කෘත්‍රිම රසකාරකයක් එකතු කර වෙළෙඳපොළට එවා තිබීමයි. කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන සිටින සුජීව ප්‍රියංකර බාලසූරිය මේ වන විට කාබනික ආහාර ද්‍රව්‍ය වගා කරන ගොවිපොළ ගණනාවකම හිමිකරුවෙකි. අපි දැන් ඔහුත් සමඟ හරිත පරිසරයක සංචාරයක යෙදෙමු.

මැල්ලුම මුළුතැන්ගෙටම

සුජීව ප්‍රියංකර ප්‍රමුඛ පිරිස තම කාබනික ව්‍යාපාරයට අත්පොත් තබමින් පළමුවම පෙලඹෙන්නේ කාබනික පලා කොළ වවා ඒවා පිරිසුදු කර සෝදා සිහින්ව කපා සැකසූ පැකට් වෙළෙඳපොළට නිකුත් කිරීම හරහාය. 2000 වන විට ඇරඹි මේ ව්‍යාපාරය 2003 වන විට මුළුමනින්ම කාබනික කොළ නිකුත් කිරීම දක්වා වර්ධනය කරගෙන 2006 වසරේදී ඒ සඳහා කාබනික සහතිකය ද හිමි කර ගත්තේය. පළමුව වෙළෙඳපොළෙන් මිලට ගත් පලා ලියා වෙළෙඳපොළට දැමුවත්, ඉන් අනතුරුව ඔවුන් 100%ක් කාබනික සහතිකයෙන් යුතුව සුපර් මාකට් වෙත කැපූ පලා කොළ පැකට් නිකුත් කිරීම සිදු කර තිබේ.

කාබනික ගම්මානය

කාබනික වගාව කෙරෙහි අවධානය යොමු කරමින් හොඳම දේ ලබා දෙන්නට වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි අක්කර 120ක ගොවිපොළ සුජීවගේම වත්කමින් මිලදීගත් එකක් වන අතර, ගොඩකවෙල පිහිටි අක්කර 1,000ක ගොවිපොළ ඔහු මිතුරකු සමඟ හවුලේ කරගෙන යයි. වැල්ලවාය ගොවිපොළේ අක්කර 20ක් වෙන්කර ඇත්තේ කාබනික පලතුරු වගා කිරීම සඳහාය. ඉතිරි අක්කර 100 ඔහු කාබනික ධාන්‍ය වර්ග වගාව සඳහා වෙන් කර තිබෙයි. එහි ඔහු කුරක්කන්, තල, මෙනේරි මෙන්ම තවත් ධාන්‍ය වර්ග කිහිපයක්ම මහා පරිමාණයෙන් වගා කර තිබේ. ගොඩකවෙල ගොවිපොළේ අක්කර 10ක පොල් වගාවට අමතරව යටි වගාවක් වශයෙන් ඔහු ගම්මිරිස් වගා කරයි. තවත් කොටසක් තේ වගාවටත්, ඉතිරිය එනසාල්, කරාබුනැටි වැනි කුළුබඩු වර්ග වගාව සඳහා වෙන් කර ඇත. ඊට නෙදර්ලන්තයෙන් හිමිවන කාබනික ආහාර සඳහා වන සහතිකයක් ද හිමි වීම විශේෂත්වයකි.

ඔහුගේ ලග්ගල ගොවිපළෙහි වී වගාව, පලතුරු වගාව ප්‍රමුඛව දේශීය එළවළු, බීට්, ගෝවා, බෝංචි වැනි උඩ පළාත්වල වැවෙන එළවළු පවා ලග්ගල පලතුරු ගම්මානයේ මේ වන විට සුලබව වගා කරමින් කාබනික සහතිකය ද හිමි කරගෙන තිබේ. නුවරඑළියේ වගා භූමිය ද කාබනික කැරට්, ගෝවා, බෝංචි, අල, ස්ට්‍රෝබෙරි, රෝස්මරි වැනි වගාවන්ට ප්‍රමුඛත්වය දී තිබේ. එම වගා භූමිය ද සහතික ලත් ගොවිපොළකි.

අමතර තවත් දේ

2019 ඇරඹි එළවළු වගාවට 2021 දී කාබනික සහතිකය හිමි කර ගැනීමෙන් අනතුරුව ඔවුහු කාබනික එළවළු වෙළෙඳපොළට නිකුත් කිරීම ද ආරම්භ කළහ. එදිනෙදා අවශ්‍ය කරන සෑම එළවළුවක්ම ඔවුන්ගේ ජාලය හරහා මේ වන විට ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. බත්, එළවළු, පලතුරු සියල්ල කාබනික වුවද කුළුබඩු කාබනික නොවීම මත සියයට සියයක් කාබනික ආහාර වේලක් මිනිසුන්ට ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ද සුජීව ප්‍රියංකර පමුඛ ‘Three Star Organic’ කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කාබනික කුළුබඩු ද මේ වන විට නිකුත් කර තිබේ.

කාබනික කිරි, බිත්තර

ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ කිරි, බිත්තර, යෝගට් වැනි ආහාර සඳහා ද කාබනික සහතිකය හිමි කර ගැනීමයි. ඔවුන් වසරකට පමණ පෙර සිට දඹුල්ලේ ගොවිපොළක් ඒ සඳහා වෙන් කරගෙන එහි එළුවන්, එළ හරක්, බිත්තර සඳහා කිකිළියන් මෙන්ම මසට කුකුළන් ඇති කිරීම සිදු කරගෙන යයි. ඒ සියල්ල ද කාබනික ඒවා බව සුජීව විශේෂයෙන්ම සිහිපත් කළේය. එම සතුන්ට හෝමෝන ලබා දීමක් කිසිදු විටක සිදු නොවන අතර, සතුන්ට අවශ්‍ය ඉරිඟු, තණ වැනි සියලු ආහාර වර්ග වගා භූමිවල වවන කාබනික ආහාර වීම මත එම සතුන් ද කාබනික ආහාරවලින්ම හැදෙන සතුන් බවට පත් කර තිබේ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ කාබනික නැවුම් කිරි වෙළෙඳපොළට නිකුත් කිරීමයි. වතුර ස්වල්පයක්වත් කළවම් නොකර සියයට සියයක් ෆ්‍රෙෂ් මිල්ක්, මීකිරි, යෝගට් වෙළෙඳපොළට ලබා දීම ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වී තිබේ. මේ වන විට කාබනික ටෝෆු වෙළෙඳපොළ ද ඔවුන් තම ග්‍රහණයට ලක් කරගෙන තිබේ. ක්ෂුද්‍ර ජීවීන් ලවා පද්ධතිය සකසා කිසිදු බාහිර බලපෑමක් එක් නොකර සකසන මෙම ආහාරවලට කාබනික සහතික ලබා ගැනීම සඳහා සුජීව ඇතුළු පිරිස මේ දිනවල යුහුසුලුව තම නිෂ්පාදන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටිති.

දේශීය වෙළෙඳපොළ

සුපර් මාකට් හරහා කාබනික ආහාර විකිණීමේදී ඔවුන්ට යම් ප්‍රමාණයක කොමිස් මුදලකුත් නිෂ්පාදන පිරිවැය හා සලකා මිලකුත් සටහන් කර කාබනික ආහාර විකිණීමට සිදු වීමත් තවමත් ශ්‍රී ලංකාව වැනි රටක් තුළ සම්පූර්ණයෙන්ම කළ හැක්කක් නොවේ. මේ පිළිබඳ අවධානය යොමු කළ ඔවුන් කෙළින්ම තම වෙළෙඳ ප්‍රදර්ශනාගාර හරහා කාබනික නිෂ්පාදන ලබා දීමෙන් වෙළෙඳපොළේ සාමාන්‍ය මිලටම කාබනික ආහාර විකිණීමට අවධානය යොමු කර ඇත. මේ හේතුවෙන් කාබනික ආහාර තම පසුම්බියට දැරිය නොහැකි ද යන්න සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගැනීමට අවශ්‍ය නොවේ. එමෙන්ම ජාන වෙනස් කළ ආහාර ගැනීමෙන් ලෙඩ රෝගවල අවදානමක් ගන්නවාට වඩා අපහසුවෙන් වුවද කාබනික ආහාර සඳහා යොමු වනවා නම් නීරෝගිමත් පිරිසක් බිහි කර ගත හැකිවනු ඇත.

චාමිකා මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT