Tuesday, May 6, 2025
Home » එක් මාවතක්-එක් තීරයක් වැඩසටහනින් ජාත්‍යන්තර සහායේ වර්ධනයක්

එක් මාවතක්-එක් තීරයක් වැඩසටහනින් ජාත්‍යන්තර සහායේ වර්ධනයක්

-කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් සෙනරත්

by sachintha
December 24, 2024 1:15 am 0 comment

චීනය රජය හඳුන්වා දුන් එක් මාවතක් සහ එක් තීරයක් වැඩසටහන මඟින් ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගය, අවබෝධය වර්ධනය කර ගැනීමට ප්‍රමුඛ කර්යයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් සෙනරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා චීනයේ පැවති දෙවැනි චීන අධ්‍යයන සමුළුව සහ 22 වැනි ජාත්‍යන්තර දක්ෂතා හුවමාරු සමුළුව (22nd International Talant Exchange Conference) අමතමිනි.

මෙම සමුළුවට දහසකට අධික විද්වතුන් පිරිසක් සමස්ත ලෝකයම නියෝජනය කරමින් සහභාගි වූහ. 22 වැනි ජාත්‍යන්තර දක්ෂතා හුවමාරු සමුළුව ලොව පුරා විසිර පැතිර ගිය වෘත්තිකයන් අතර අන්‍යෝන්‍ය සහයෝගය, අවබෝධය වර්ධනය සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මුඛ්‍ය අරමුණු අතර විය. එසේම විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීය සංවර්ධනය සඳහා නවෝත්පාදන අදහස් හුවාමරුව හා නව අවස්ථා ගවේෂණය කිරීම, අන්තර්ජාතික සහයෝගිතාවන් ඇති කර ගැනීම හා ශක්තිමත් කර ගැනීම ද අපේක්ෂිත විය.

තවදුරටත් මෙම සමුළුවේදී අදහස් දැක්වූ ආචාර්ය සුගත් සෙනරත් මහතා මෙසේද පැවසීය.

පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැංවීමෙහිලා ශක්තිමත් සන්නිවේදන ආකෘතියක් අපට අවශ්‍ය වෙනවා. මෙහිදී නූතන දැනුම සමඟ සාම්ප්‍රදායික දැනුම ද භාවිත කරමින් තිරසර සංවර්ධනයක් ගොඩනඟා ගැනීම අපේ මූලික අරමුණ විය යුතුයි. එහිදී චක්‍රීය සන්නිවේදන ආකෘතියක් අපට වැදගත් වෙනවා. ඒ අන් කිසිවක් නිසා නොව ජාතීන් අතර මනා සන්නිවේදනයක් ගොඩනඟා ගැනීමටයි. ඒ තුළින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වෙනවා. එක් මාවතක් එක් තීරයක් වැඩසටහන ඉදිරියට යෑමට ද ශක්තියක් සපයනවා.

මෙම සමුළුවට සමගාමීව චීන අධ්‍යයනය පිළිබඳ සමුළුව ද පවත්වන ලදි. එය මෙවර පවත්වන ලද්දේ දෙවැනි වතාවටය. මෙහිදී ජනතාව එකිනෙකා සම්බන්ධ කර ගැනීම සඳහා මෙන්ම එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය, සංස්කෘතික හුවමාරුව, දැනුම සම්ප්‍රේෂණය, තිරසර සංවර්ධනය සඳහා එකිනෙකා අතර දැනුම නිෂ්පාදනය පිළිබඳව වඩාත් අවධානය යොමු කෙරිණ. චීනයේ ‘මාවතක් සහ තීරයක්’ මූලික කුලුනු පහෙන් එකක් වන ජනතාව එකිනෙකා අතර සබඳතා ගොඩනඟා ගැනීම සඳහා ග්‍රන්ථ පරිවර්තනය, වෙනත් භාෂාවන්ගෙන් වන වැඩසටහන් තම මව් භාෂාවන්ගෙන් විසුරුවා හැරීම, එකිනෙකා පුහුණු කිරීම, විද්වත් හුවමාරුව, පර්යේෂණ හා පර්යේෂණ සැසි පැවැත්වීම, සංස්කෘතික කණ්ඩායම් හුවමාරුව හා එකිනෙකා අතර ප්‍රශස්ථ සතිමත් සන්නිවේදනයක් පැවතිය යුතු බව මෙම සමුළුවේදී වැඩිදුරටත් සාකච්ජාවට ගැනිණි.

චන්දන විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT