මෙවර නත්තල් උත්සවයේදී ස්වභාවික නත්තල් සැරසිලි ඉවත්ව කෘත්‍රිම ආනයනික නත්තල් සැරසිලි වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇතැයි ජා ඇළ, කඳාන, රාගම ආදී ප්‍රදේශවල ජනතාව පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ, මේ අනුව ස්වභාවික නත්තල් ගස, මැටි සුරුවම්, පඹ සැරසිලි ඉවත්ව ගොස් ඒ වෙනුවට ප්ලාස්ටික් ආදේශ වී ඇති බවයි. ඉකුත් නත්තල් සමයන්හිදී සයිප්‍රස් ගස්, මැටි සුරුවම් ඇතුළු ස්වභාවික නත්තල් සැරසිලි වෙළෙඳපොළෙහි බහුලව තිබුණද මෙවර එම තත්ත්වය වෙනස් වී ස්වභාවික සැරසිලි දැඩිව සීමා වී ඇත. මධ්‍යම කඳුකරයේ සිට ප්‍රවාහනය කෙරෙන සයිප්‍රස් ගස් ප්‍රවාහනයේදී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ස්වභාවික නත්තල් ගස් මෙම ප්‍රදේශවලට රැගෙන ඒමට නොහැකි වී ඇතැයි පෙර එම වෙළෙඳාමෙහි නිරත වූ පිරිස් පෙන්වා දෙති. එසේම මැටි කර්මාන්තය අභාවයට යමින් මැටි සුරුවම් වෙළෙඳපොළෙන් ඉවත්ව ප්ලාස්ටර්ඔෆ් පැරිස් ප්ලාස්ටික් සුරුවම් වෙළෙඳපොළට පැමිණීම දක්වා වෙනස් වී ඇත. එසේම පඹ ආදී සැරසිලි සඳහා විශාල වශයෙන් පඹ සපයා ගත් මුතුරාජවෙල එළිපෙහෙළි කර ගොඩ කිරීම් ආදිය බහුල වී ඇති නිසා අද වන විට පඹ සපයා ගැනීම දුෂ්කර වී ඇතැයි ද උක්ත ප්‍රදේශවල ජනතාව පවසති.
ජා ඇළ සමූහ – ප්‍රසංග පෙරේරා