Home » ක්ලිෆර්ඩ් බොක්සිං කිරුළ යුද හමුදාවට

ක්ලිෆර්ඩ් බොක්සිං කිරුළ යුද හමුදාවට

-සුරංගට සහ සචිනිට දක්ෂතම සම්මාන

by sachintha
December 24, 2024 1:33 am 0 comment

 

බරපන්ති 13කින් 9කදීම රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම 94 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මීට අමතරව රිදී පදක්කම් දෙකක් ද, ලෝකඩ පදක්කම් 2ක් ද දිනා ගනිමින් මෙවර තරගාවලියේ පිරිමි තරග ඉසව්වේ ආධිපත්‍යය පතුරුවාලීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත්වූහ.

ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවර සහස් උයන එළිමහන් භූමියේදී පසුගියදා නිමාවට පත්වූ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ බර පන්ති 12කින් සමන්විත කාන්තා තරග අංශයේ ශූරතාව දිනා ගනු ලැබුවේ රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් අත්කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කෆීර් කණ්ඩායම විසිනි.

කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කමට හිමිකම් කී යුද හමුදා බොක්සිං සමාජයේ සුරංග ප්‍රනාන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසත්, කිලෝග්‍රෑම් 50 බරපන්තියේ රන් පදක්කම දිනූ සචිනි ප්‍රනාන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

මේ අතර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියට සමගාමීව පැවති ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව සාන්ත සිල්වෙස්තර විදුහල් පිලට හිමිවූ අතර, හේමමාලි බාලිකා විදුහල් පිල බාලිකා ශූරතාවත් දිනා ගත්තේය.

සාන්ත සිල්වෙස්තර විදුහල් පිල බාලක තරග අංශයේ රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් අතර, හේමමාලි බාලිකාවෝ රන් පදක්කම් 5ක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ.

නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවති අතර, ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් ද ඊට එක්වූහ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT