Home » අසිරිමත් නත්තල අදයි

අසිරිමත් නත්තල අදයි

by mahesh
December 25, 2024 1:02 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ. දේව මෙහෙයන් හා රතිඤ්ඤා හඬ මැද ඊයේ (24) මැදියම් රැයෙන් අසිරිමත් නත්තල උදාවිය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙවර ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදී මධ්‍යම රාත්‍රී ප්‍රධාන නත්තල් දේවමෙහෙය පැවැත්විණි.

බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය නත්තල් අසිරියෙන් හැඩවී ඇති ආකාරය අන් කවරදාකටවත් වඩා මෙවර දැකගත හැකි වීම ද විශේෂත්වයකි.

රට පුරා කිතුනු ජනතාව මෙවර නත්තල් උත්සවය සැමරීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරය දැකගත හැකි අතර කිතුනු දේවස්ථාන රැසක සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග මෙන්ම නත්තල් ගස් හා ගවලෙන් සකසමින් ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන නත්තල සැමරීමට කිතුනු ජනතාව මහත් හරසරින් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.

අදින් වසර 2024කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි. ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටුකළේ සුවිශාල මෙහෙයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT