Home » ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ උදාකරන්න කැප වෙනවා
නත්තල් දින පණිවිඩ

‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ උදාකරන්න කැප වෙනවා

නත්තල් පණිවිඩය නිකුත් කරමින් ජනපති කියයි

by mahesh
December 25, 2024 1:02 am 0 comment

අප ආණ්ඩුව වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” උදාකර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නත්තල් පණිවිඩයෙන් අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් පණිවිඩයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව සිදු වීමට නියමිත ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි. පුනරුදයකි. එම ජාතික පුනරුදය වෙනුවෙන් ඉමහත් කැපවීමකින්, ඉවසීමකින්, සංයමයකින්, අප්‍රතිහත ධෛර්යයෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටිනවා.

සියලු ජන කොටස් එකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමුහික වගකීමක් සේ සලකා දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවකට අප එළැඹ ඇත්තෙමු. සාමයේ හා සමගියේ යදමින් බැඳි දේශයට උදාවන නව අරුණැල්ලක පහස විඳිමින් සිටින්නෙමු. එම ප්‍රදීප්තය ජේසුස් වහන්සේ අප වෙත රැගෙන ආ ප්‍රේමයේ ඇරුණැල්ලමය. භේදයේ අඳුර දුරලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට ආණ්ඩුවක් ලෙස අප කැප වී සිටින්නෙමු.

ආත්මාර්ථකාමී හා අහිතකර තරගයට සමාජ පද්ධතිය බල කරනු ලැබ ඇතත්, නත්තලේදී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කර ගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටු දායක සමාජයක් කරා මෙහෙය වීමට සැවොම අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගතයුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.

ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි! යනුවෙන් ද ජනාධිපතිවරයාගේ නත්තල් පණිවිඩයේ සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT