Home » නත්තල ආදරයට අරුතක්
ප්‍රවේශ

නත්තල ආදරයට අරුතක්

by mahesh
December 25, 2024 1:00 am 0 comment

ගෙවුණු තිස් අවුරුදු යුද්ධයක් පුරා අපට පුරුදු පුහුණු කර තිබුණේ දුම්රියේ, බස් රියේ, මහ මග යද්දී නාඳුනන මිනිසුන් සැක කරන්න ය. ඔවුන්ගේ ගමන්මලු, පාර්සල් දැක බිය වන්නට ය. යුද්ධ කාලීනව දෙමළ මිනිසා සැක කළේ යම් සේක්ද, පසු කාලීනව එතැනට ආදේශ වූයේ මුස්ලිම් ජාතිකයා ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එය තවත් තීව්‍ර කළේ ය.

කොයි අන්තවාදයේත් අස්වැන්න එක ය. එහෙත් කොයි අන්තවාදයෙනුත් තමන්ගේ බඩගෝස්තරය රැකෙන පිරිසක්ද, නැතුවා නොවේ. මිනිසුන් බෝම්බ බවට පත් කර පුපුරුවා හරින්නේත්, පිපිරෙන මිනිස් බෝම්බ වලින් අහිමි වූයේත් රටේ ජීවිත ය. මේ රටේම පුරවැසියන් මේ පොළොව වෙනුවෙන් හළා ඇති රුහිරු අපමණ ය.

එහෙව් රටක සැකය හා බියම වපුරා පරම්පරා ගණනක් එකී අස්වනු නෙළන්නට සිදුවූ පසු ‘අසල්වැසියාට ප්‍රේම කරන්න’යයි කීවද, ඇසෙන්නේ හීනියට ය. නවලිබරල් ධනවාදයේ පරිභෝජනවාදයේ කරවටක් ගිලී තවකෙකු ගැන සංවේදීවීමට වඩා කෙසේ හෝ දවස ගෙවා ගැනීම ජීවිතයේ පරම අධිෂ්ඨානය කරගත්, යුගයක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය පවා නිසි ලෙස කියවා ගැනීම අභියෝගයකි. ඒ වෙනුවෙන් හැරී බලන්නට දැවැන්ත ඉවසීමක් අවැසි ය. පුහුණුවක් අවැසි ය.

ඒ නිසාම ‘අසල්වැසියාට ප්‍රේම කරන්න’යයි කියන පණිවිඩයේදී, අවම වශයෙන් අසල්වැසියකු ගැන හැඟීම් මාත්‍රයක් උපදින්නට අවකාශ සලසයි. එහෙත් ‘බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න’යයි කියන විට අසල්වැසියා දොරටුව ළඟට හෝ නොකැඳවයි. පණිවිඩය හුදු ‘පණිවිඩයක්’පමණක් නොව සමාජයේ හරස් කඩකි. අද යුගයේ අවශ්‍යතාව ආදරය පිරුණු මිනිසුන්ද? අසල්වැසියාට බුරන බල්ලන්ද යන්න තෝරා ගැනීම ඇත්තේද, අපටම ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT