ලොව ඇති විශාලම හා බරපතළම සරණාගත කඳවුර ලෙසින් ප්‍රකට සුඩානයෙහි ඩාපූර් කඳවුරෙහි බටහිර අන්තයට බර බ්ලොක් අංක විසි දෙක කලාපයෙහි කෙළවරක දක්නට ලැබුණු කුකුළු කූඩුවක් බඳු ඉටි – රෙදි කූඩාරමක ඒ පුරුෂයා රැඳී සිටියේය. ඔහු නමින් “සුදු මයිකල්” නම් විය. ප්‍රසන්න පෙනුමකින් යුතු මැදිවියේ පසු වූ සුදු මයිකල්, කඳවුරෙහි කා අතරත් ජනප්‍රිය තැනැත්තකු යැයි කීම සත්‍යයකි. මේ කඳවුරෙහි ලක්ෂ හයකට ආසන්න කළු ජාතිකයෝ පිරිසක් රැඳී උන්හ. ඒ සෑම කෙනකුගේම ජීවිත අවදානම්සහගත විය. සුදු මයිකල්ට වුව කිවයුත්තේ ඔහු ද කඳවුරෙහි සමාන අයිතිවාසිකම් සහිත සමපාතිකයකු වන බව පමණි.
ඕනෑම කඳවුරක ජීවත්වන මානවයකුම ලබාගත හැකි හා ඔවුන් අපේක්ෂා කරන ප්‍රධාන සහන දෙකක් පවතියි. එකක් නම්, දීර්ඝ හා ගැඹුරු සැප නින්දක් ලැබීමය. අනෙක නම්, අඩ නින්දේ පසුවෙමින් වුව තමන් කැමැති සරල, සුන්දර සිහිනයක් දැකීමය. මේ දෙකම පහසු කාරණා නොවේ.
නින්ද ලැබෙන්නට කෑම – බීම,සයන – බෙහෙත් ආදිය පැවතිය යුතුය. ඒ හැරෙන්නට හිතේ නිදහසක් ද තිබෙන්නට වුවමනාය. මේ කඳවුරේ කිසිවකුට ඒවා ලැබෙන්නේ නැත.
මීට සති කිහිපයකට පෙර චණ්ඩ මාරුතයකින් කඳවුර විනාශ විය. ඒ සමඟම ආහාර, ඖෂධ, ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් දැඩි ලෙස සීමාවන්නට විය. ලොව පුරා ඇති සරණාගත කඳවුරු, ආහාර සඳහා පමණක් 2025 වසරට අ.ඩො. බිලියන 47ක් සපයාගත යුතු බව ලෝක ආහාර වැඩසටහන තහවුරු කර තිබේ. එහෙත් ධනවත් රටවල් හා තවත් ආධාර සංවිධාන එම මුදල් ලබාදෙන්නට එකඟතාව පළ කර නැත.
ආහාර, ඖෂධ හා ජලය පිළිබඳ විවිධාකාර ආරංචිවලින් කඳවුර පිරී ඇත. මේ හැර මයිකල් හමුවට එන බොහෝ දෙනා ඒ ගැන කරුණු විමසති. මයිකල් හැඳින්වූයේ “සුදු මයිකල් වාර්තාකාරයා” හැටියටය. කඳවුරෙහි ඔෆිසර මහත්වරු පවා සුදු මයිකල් කෙරෙහි උනන්දු වූහ. ඒ හේතු -සාධක දෙකක් නිසාය. පළමු මයිකල් සුදු ජාතිකයකුවීම හා කඳවුරෙහි අතිබහුතරය උග්‍ර කළු ජාතිකයන් වීම ය. දෙවැන්න ඔහු කෙන්යාවේ උගුර්මවිකු නම්; ප්‍රකට පත්‍රකලාවේදියා කැටුව සුඩානයට පැමිණ සිටීමය. ඔවුහු එක්තරා අවස්ථාවක දරුණු යුද ගැටුමකට මුහුණ දෙති. ගැටුමේදී උගුර්මව්කු අතුරුදන් විය. ඔහු පිළිබඳ ආරම්භයක් අද වනතුරු ද නැත.
ආදරණීය මව්කු පිළිබඳ මතකය මයිකල්ගේ සිතින් බැහැර කළ නොහැකිය. මේ දැනුත් ඔහු ජීවමාන වෙයි. කටහඬ ඇසෙයි. “සාමය වෙනුවෙන් ගනුලබන කුමන හෝ උත්සහයකට කොන්දේසිවිරහිතව සහාය දෙන්න. ප්‍රේමය පිළිබඳ ගනුලබන ඕනෑම සාධනීය පියවරකට කැපවන්න” ඒ උගුර්මව්කූ නම් අග්‍රගණ්‍ය පත්‍රකලාවේදියාගේ උපදේශනය වෙයි.
සැබෑවටම සටන්වලට හා ගැටුම්වලට තිත තැබිය හැකි නම්, ලෝකය මීට වඩා අති සුන්දර ස්ථානයක් වනු ඇත. එවිට ලොව ඇති සම්පත් මිනිසාගේ පැවැත්ම සඳහා හොඳටම ප්‍රමාණවත් වනු ඇත. අසල්වැසියාට ප්‍රේමකිරීම යන්නෙහි පුළුල් අර්ථය වන්නේ මානව වර්ගයාට ප්‍රේමය, ආදරය හා කරුණාව දැක්වීමය. එවැනි ලෝකයක් අවි තරගවලට යන්නේ නැත. න්‍යෂ්ටික ලෝක යුද්ධ ආරම්භ කරන්නේ නැත.
සාමය හා ප්‍රේමයම ලොව ප්‍රථම වෙයි. අංක එක වෙයි. සුදු මයිකල් නැවත නැවත මෙනෙහි කරන්නට පටන් ගත්තේය. ඒ අතර කාඩ් බෝඩ් සයනයෙහි ඒ අතටත්, මේ අතටත් පෙරළෙන්නට පටන් ගත්තේය. මුළු කඳවුරටම කාඩ්බෝඩ් සයනවල හා ගුදිරිවල අඩුවක් තිබිණි. ඒ සියල්ල විඳ දරාගෙන සිහින දැකීමට කාටත් සිදුවී තිබිණි.
මයිකල් ඩාපූර් සරණාගත කඳවුරට ගාල් වී සෑහෙන කාලයක් ගෙවී ඇත. ඔහු නැවත කෙන්යාවට යෑම සඳහා ගනු ලැබූ සැම උත්සාහයක්ම ව්‍යර්ථ විය. එක අතෙකින් පෙරළා නයිරෝබි නුවරට ගියත්; එහි ඇති වෙනසක් නැත. කෙන්යාව පුරා යළිත් ගැටුම් පවතී. සුඩානයේ වුව,කෙන්යාවේ වුව ගැටුම්වල ස්වභාවයෙහි වෙනසක් නැත. මයිකල්ගේ වයස ද හොඳ නැත. ඔහු දැන් ජීවිතය පවත්වාගැනීමට වඩා ඉන් ඉවත්වීමට සමීපය. මයිකල්ගේ වත්මන් වයස අවුරුදු හැටහතරකි. තවත් දෙවසරක් මේ කඳවුරෙහිම සිටින්නේ යැයි මයිකල් හිත හදාගෙන සිටියේය.
දෙවසර යන්න නිශ්චිත ඉලක්කයක් නොව, අනුමානයකි. ජීවිතයට ස්ථිර ඉලක්ක තබාගත හැක්කේ කාටදැයි මයිකල්ටම සිතාගත නොහැකිය. ඔහු දෙපැත්තට පැද්දෙන අතරේ සිනාසෙන්නට උත්සාහ කළේය. මේ වනවිට ද ඔහු පසුවූයේ සෑහෙන කුසගින්නකය. සෑහෙන පිපාසයකය. දෙකටම විසඳුම් නැත. දැන් කඳවුරට ලැබෙන්නේ පිසූ ආහාර වේල්ය. ඒවා ද ප්‍රමාණවත් පරිදි නොලැබේ. රොටියක් ගිල දමන සරණාගතයාට රොටී භාගයක් පමණක් ලැබෙන අවස්ථා ඇත. උදෑසන ආහාර වේල හෝ රාත්‍රී ආහාර වේල හෝ කපා හැරෙන අවස්ථා ද ඒවා බෙහෙවින් ප්‍රමාද වී ලැබෙන අවස්ථා ද පවතියි. මයිකල්ට අද සන්ධ්‍යාවේ ලැබුණු රොටී භාගය ඒ මොහොතේම ගිල දැමූ අතර දොඩම් ගෙඩිය ද සුළු මොහොතකින් කටට මිරිකා ගත්තේය. දැන් සතියක පටන් වතුර බෝතල් ලැබෙන්නේ නැත. එබැවින් ජලය ළඟ තබාගෙන පානය කිරීමේ සිරිත අතහරින්නට සරණාගතයන්ට සිදු වී ඇත. එය රෝග පැතිරයෑමට තවත් ප්‍රධාන හේතුවකි.
සුදු මයිකල් කුසගින්නේම දෑස පියා ගත්තේ නත්තල් කෑමක් පිළිබඳ සිහිනයක් දැකීමටය. ඒ සඳහා කොපමණ වේලාවක් ගතවේදැයි අනුමාන කිරීමට මයිකල්ට නොහැකි විය. ඔහු පොළොවට තද වී ඇලුණු කාඩ්බෝඩ් සයනය මත යළිත් ඒ මේ අත පෙරළෙන්නට විය. මයිකල් බොහෝ වේලාවක් එකම ඉරියව්වේ රැඳෙන්නට ඇත.
ඒ… අයියා නැතිවීමෙන් පසු එළැඹි පළමු නත්තල් උදාව වූයේය. ට්‍රක්රථ රියැදුරකු වූ පෙඩ්රික් එනම්, එවකට හැටවියෙහි පසු වූ මයිකල්ගේ එකම අයියා බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත් විය. එතැන් සිට පවුලේ නායකයාගේ භූමිකාව ඉබේම මෙන් මයිකල් වෙත ප්‍රදානය විය. ඔහු ඒ පිළිබඳ අපේක්ෂාවකින් පසුවූයේ නැතත්; එය ඉබේම සිදුවිය. ඒ අනුව වගකීම් භාරගැනීමට ද, ඒවා ඉටු කිරීමට ද මයිකල්ට සිදුවිය. මයිකල් අවාහයක් කරගෙන සිටියේ නැත. සියල්ල එකිනෙකට ගැළපුණේ පුදුමාකාර ලෙසය. මේ වනවිට පවුලේ දරුවෝ හය දෙනෙක් වූහ. ඔවුහු මයිකල්ට ලිට්ල් පාදර් හෝ ස්ටෙප් පාදර් හෝ නිකම්ම නම හෝ පාවිච්චි කළහ. අයියාගේ බිරිය මයිකල්ගේම වයසේ පසු වූ අතර ඔහුට ගරු කළේය.
“මල්ලිටත් දැන් මේවා ගැන හොයල බලන්ඩ වෙනවා! පවුලෙ වගකීම් ගැන බලන්ඩ වෙනවා සැහැල්ලුවෙන් ඉන්ඩ හිතන්ඩ එපා!”
මාරී නිතර දෙවේලේ කියවන්නීය. හැබෑවටම මාරී යනු සුන්දර, නිහතමානී, අවංක ගැහැනියකි. ඇය ළඟ කරුණාව පිරී ඉතිරී ඇතැයි මයිකල් සිතුණු වාර අනන්තය. එබැවින් ඔහු සිය සෙල්ලක්කාර ජීවිතය අතහැර වගකිවයුතු වැඩිහිටියකු ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය. ඔහුට අත්හළ නොහැකි එකම සිද්ධිය වූයේ උගුර්මවකු කැටුව තැන තැන ඇවිදීම පමණි.
ඒ නත්තල සඳහා මාරී විසින් කේක් වර්ග පහක් නිර්මාණය කර තිබිණි. විශාල බිත්තර ඔම්ලට්, ඌරු මස් ඉස්ටු, එළුමස් කරි, අරාබි පාන්, නූඩ්ල්ස්, තක්කාලි සම්බෝල, දොඩම් යුෂ, ඇපල් යුෂ මේසයට පිළිගන්වා තිබිණි. මයිකල් වෙත පැවරී තිබුිණේ වයින් හැදීම හා කැරොල් ගීත ගායනාවයි.
මයිකල්, වයින් වර්ග තුනක් නිමවා තිබිණි. ඇපල් වයින් එක සුදු පැහැතිය. එය තරමක් සැරවූ අතර ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩිවිය. මිදි වයින් එක පැණි රසයෙන් වැඩි වූ අතර පල් රසයක් ද දැනිණි. දොඩම් වයින් එක අසම්මත නිර්මාණයක් වූ අතර එහි සැරක් නොවූ තරම්ය. කැරොල් ගී ගායනය දින තුනක් තිස්සේ පුහුණු විය. ලොකු පුතා ගිටාරයක් ද, මද්දුමයා මවුත්ඕගනයක් ද, බාලයා කොංගෝ බෙරයක් ද වාදනය කළහ. දියණියෝ තිදෙනා ගායනාවට හවුල් වූහ. බයිබලයේ ගැඹුරු හා දාර්ශනික චින්තාවන් එම ගීතවලියට පාදක වී තිබුණේ නැති වුව එදිනෙදා පරිසරය, කරුණාව, ප්‍රේමය මූලික කොට ගීත රචනා වී තිබිණි.
අසල්වැසියෝ බර ගණනක් මයිකල්ගේ නිවෙසට පැමිණ සිටියෝය. සියල්ලන් සඳහාම හොඳ සංග්‍රහයක් පිළියෙල වී තිබිණි. මයිකල් වයින් වීදුරු භාගයෙන් පටන්ගෙන එය පුරවන ලද වීදුරු හතක් වනතුරු ගෙන ගියේය. ඔහු වැඩිපුරම පානය කළේ ඇපල් වයින්ය. වයින් පානය කරන තරමටම පාන්, ඔම්ලට් හා කජු වර්ග ගිල දැමීමට ද මයිකල් අමතක කළේ නැත.
අවසන් වරට මයිකල් කළේ ඇපල් වයින් හා බදින ලද කජු තමා ළඟට ළංකර ගැනීම පමණි. මයිකල් යනු නිරෝගී, ශක්තිමත්, විනෝදකාමී මිනිසකු බව මාරී දැනගෙන උන්නාය. ඈ කිසිවකට හරස් කැපුවේ නැත. තව බොනවාද යැයි ඇසුවේ ද නැත.
“දැන් කාලෙ කැරොල් කිසිකමකට නෑ!
පදමාලාවත් එච්චරයි! තනුවත් එච්චරයි!
සංගීතෙත් එච්චරයි! ඔක්කෝම ඉතින්
ජිංගල් බෙල් – ජිංගල් බෙල් තමයි! නත්තලත්
ආපස්සට යනව ද මන්දා?”
“අපට මොන නත්තල් ද මල්ලි, මස් ඉස්ටු ටිකක් කාලා
නිදාගන්ඩ! කැරොල් නැත්නම් යාඥාවක් කරන්ඩ!”
මයිකල් ඉස්ටු කෑල්ලක රස බැලුවේය. ඊළඟට වයින් වීදුරුවක් පානය කළේය. ඉනික්බිති විශාල රොටියක් හා ඔම්ලට් එකක් තම පිඟානට දමා ගත්තේය. රොටියේ පැහැය, රස්නය, සුවඳ මයිකල්ගේ සිතට හොඳින් දැනෙන්නට විය. ඔහු ටිකෙන් ටික ඒවා ගිල දමන්නට පටන් ගත්තේය. ඊටත් පසු විකාර කියවන්නට පටන් ගත්තේය.
හිඟන්නාට – උණු බත් කුමට!?
යදින්නාට රජකම් කුමට!?
සම්මුඛ වෙයි! – අහිමිවෙයි!
ජීවිතය ඉදිරියට ගලයි!
කරුණාලෝකය පැතිරෙයි!
මිනිසා අවදි වෙයි!
නැවත හිරුබැසයයි.
මිනිසා නින්දට වැටෙයි!
“මයිකල්!මයිකල්! හේයි සුදු මයිකල්
නැඟිටිනවා! අසිරිමත් නත්තල උදාවෙලා
නැඟිටිනවා! අද කදිම දවසක් ඕයි නැඟිටිනවා!
අපි රොටී කෑල්ලක් කාලා නත්තල සමරමු!”
කඳවුරේ කොලු රෑනක් මයිකල් වටේට යමින්, කැරොල් ගායනා කරමින් වයසක මිනිහා අවදි කරන්නට වෑයම් කළහ. ඇත්තටම සුදු මයිකල්ගේ දෑස් විවතව පැවැතිණි. එහෙත් ඔහුගේ හෘද යස්පන්දනය වැඩ කළේ නැත. පපුව ගැස්සුණේ නැත. එක කොලුවෙක් දිව ගොස් ඔපිසර මහතකුට යමක් කියා සිටියේය. ඔපිසර වහා පැමිණ සුදු මයිකල්ගේ පපුවට කන තබා, ඉව කර බැලුවේය. ඔහුගේ කට ඇදවී ගිය අතර ඔපිසර තැන දෙපැත්තට හිස වැනුවේය.
කොලු ගැටව් කොපමණ රොටී කැබලි දිගුකළ ද ඒවා දෙස හැරී බලන්නට සුදු මයිකල් නැඟී සිටියේ නැත.
මයිකල් කුසගින්නේ මියගියේ යැයි තහවුරු කිරීමට අවශ්‍ය කිසිදු නෛතික ප්‍රතිපාදනයක් ගැන කිසිවකු දැන සිටියේ නැත.